කපිල කේ හීනටියන –
මේ යුද්ධය හරියටම නුවරඑළියේ කාලගුණය වගේය. එකිනෙකට පරස්පර සිද්ධි තේරුම් ගත නොහැකි වේගයෙන් සිදුවෙමින් ඇති අයුරු පමණක් අපි දකිමින් හිඳිමු.
නොකෙරෙන සාකච්ඡාවක් අවසන්වන තුරු ට්‍රම්ප් සටන් විරාමයක් ප්‍රකාශ කර තිබේ. පාකිස්ථාන මැදිහත්කරුවන්ගේ ඉල්ලීම පරිදි, ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් රැගෙන එන තෙක් ඉරානයට එල්ල කිරීමට නියමිත ප්‍රහාර නතර කිරීමට ඇමරිකාව එකඟ වූ බව ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරයි. මෙම සටන් විරාම දීර්ඝ කිරීම සඳහා නිශ්චිත කාලසීමාවක් ඔහු නියම කර නොමැත.
ඒ අතර ඉරානය විසින් උපායමාර්ගිකව වැදගත් හර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය පාලනයට නතු කරගෙන ඇත. ඔවුන් අත් අඩංගුවට ගෙන තිබුණේ පැනමා ධජය සහිත ‘MSC Francesca’ සහ ලයිබීරියා ධජය සහිත ‘Epaminondas’ යන නෞකා දෙකය. මින් ‘Epaminondas’ නෞකාවට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත්, එහි පාලක මැදිරියට හානි සිදුව ඇති බවත් වාර්තා වේ.
ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර් වාර්තා කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් සමුද්‍රීය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගිය බවය. පෙබරවාරි අග භාගයේ යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය නෞකා අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වේ. සමුද්‍ර සන්ධියේ ආරක්ෂාවට සහ සාමයට බාධා කරන ඕනෑම ක්‍රියාවක් “රතු ඉරක්” ලෙස සලකන බවටද විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු ඇඟවීය.
මේ අතර සිය බලය විදහා දක්වමින් ඉරානය පසුගිය අඟහරුවාදා ටෙහෙරාන් නුවරදී බැලස්ටික් මිසයිල ප්‍රදර්ශනයක් පැවැත්වූයේය. එහිදී “හොර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ පාලනය යටතේ පවතිනු ඇත” සහ “ට්‍රම්ප්ට කිසිවක් කළ නොහැක” යනුවෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කර තිබුණි.
ඉරානයේ මුහුදු මාර්ගයෙන් සිදුකරන වෙළෙඳාමට එරෙහිව පනවා ඇති නාවික අවහිරය ඉවත් කිරීමට ට්‍රම්ප් පියවර ගෙන නොමැත. ඉරාන පාර්ලිමේන්තු කථානායක සහ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බකර් කලිබාෆ් ප්‍රකාශ කළේ එම අවහිරය ඉවත් කරන්නේ නම් පමණක් පූර්ණ සටන් විරාමයක් අර්ථවත් වන බවයි. හොර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම මෙවැනි “ධජය උල්ලංඝනය කරන සටන් විරාම උල්ලංඝනයක්” හමුවේ කළ නොහැක්කක් බව ඔහු X පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
“ඔබ මිලිටරි ආක්‍රමණ හරහා ඔබේ අරමුණු ඉටු කර ගත්තේ නැහැ. බිය ගැන්වීම් හරහාද ඒවා ඉටු කර ගැනීමට නොහැකි වනු ඇත. එකම මග ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීමයි,” යනුවෙන් ට්‍රම්ප්ගේ සටන් විරාම දීර්ඝ කිරීමට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ සාම සාකච්ඡා ආරම්භ වන ලකුණක් හෝ අපට පෙනෙන්ට නැත. පාකිස්ථානය දෙපාර්ශවයම සාකච්ඡා මේසයට ගෙන එමේ දැඩි උත්සාහයකය. එහෙත් පසුගිය අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා සඳහා දෙපාර්ශවයම සහභාගී වූයේ නැත.
තෙල් මිල ඉහළට
යුද්ධය පුරා ඉරානය සිය අවසරයකින් තොරව ගමන් කරන නෞකාවලට ප්‍රහාර එල්ල කරමින් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත. ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම මාර්ගයෙනි.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 4% කින් පමණ යළි ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.2 දක්වා වැඩි වී තිබේ.
ඇමරිකාව ඉල්ලා සිටින්නේ ඉරානය සිය යුරේනියම් සාරවත් කිරීමේ වැඩපිළිවෙළ නතර කළ යුතු බවයි. එහෙත් ඉරානය ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කිරීම, සම්බාධක ඉවත් කිරීම සහ හොර්මුස් සමුද්‍ර සන්ධියේ සිය පාලනය පිළිගන්නා ලෙසය.
එකෙකුට එකේක දෙවැනි නැත. දෙපැත්තම මස් රාත්තලම ඉල්ලති. අවසානයේ දී ප්රශ්නය එතැනමය.







