ඉඳුනිල් කහටපිටිය –
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන සිය පොත එළිදැකීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ බව උදය ගම්මන්පිල පවසයි. එහෙත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවසන්නේ එම උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට නම් සහභාගී විය නොහැකි බවය.
“ විපක්ෂ නායකවරයා රෙද්දක් ඇඳන් ගම්මන්පිලගේ පොතට යන්නේ කොහොමද ?.” මාධ්‍ය ඊයේ නලින් බණ්ඩාරගෙන් ඇසුවේය.
“ ඒක තමයි. මම නම් හිතන්නේ නෑ. එතුමා එතෙන්ට ගියා කියලා. මොකද එතුමට එතෙන්ට යන්න බෑ නේ. ඒ පෙන්නුවේ ඒ.අයි වලින් දාපු එකක් වෙන්න පුලුවන්.” නලීන් බණ්ඩාර කීවේය.
රටම සජිත් එතන ඉන්නවා දැක්කේය. ගෝඨාභය, මහින්ද, සිරිසේන සමග එකට එක පෙළට හිඳගෙන සිටිනවා දැක්කේය. කතා කරනවා දැක්කේය. ගම්මන්පිල සමග පිලිසඳරක යෙදෙනු මහින්ද සමග කතා කරනු දැක්කේය. මෙතන දී නලීන් බණ්ඩාර මතු කළේ වෙනත් මානයකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව උදය ගම්මන්පිල ඉදිරිපත් කළ මතයට හාත්පසින්ම වෙනස් මතයක් දැරූ සජිත් ප්‍රේමදාස පාස්කු මහ මොළකරු පිළිබඳ පොත එළි දැක්වීමට එක්වීම පිළිබඳ සමගි ජන බලවේගය තුළින් මතුවන විරෝධයේ ප්‍රමාණය නලීන් බණ්ඩාර ප්‍රකාශ කළේය.
නලීන් බණ්ඩාර පෙන්වා දුන්නේ මාධ්‍ය කී ලෙසම රෙද්දක් ඇඳගෙන නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඒ අවස්ථාවට සහභාගී වීමට පුලුවන්කමක් නැති බවය. සජිත් ප්‍රේමදාස ඒ අවස්ථාවට සහභාගී වූවා සේ යමෙක් දුටුවානම් ඒ ඒ.අයි වලින් නිර්මාණය කළ දර්ශන විය හැකි බවත්ය. අප විශ්වාස කරන්නේ පක්ෂය තුළින් එළිපිටම සජිත් මේ තරම් බරපතල උත්ප්රාසාත්මක විවේචනයකට මින් පෙර ලක් වී නැති බවය.
කෙසේ වෙතත් අද උදය ගම්මන්පිල නලීන් බණ්ඩාරට උත්තර දුන්නේය.
“ මා මිත්‍ර නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමාට සැකයක් තියනවා නම් එතනට සජිත් ප්‍රේමදාස මැති තුමා ගියා ද නැද්ද කියලා සජිත් ප්‍රේමදාස මැති තුමා තනියෙන් නෙමෙයි ආවේ. එතුමාගේ සමීප උපදේශකයෙක්වන ලක්ෂ්මන් ෆොන්සේකා මැතුතුමාත් පැමිණියා. ආරක්ෂකයො මුල ඉඳන්ම ඇවිත් හිටියා. ආරක්ෂකයො ආවේ එතුමා පැමිණෙන්න පැයකට විතර කලින්.
“එතකොට කාටහරි සැකයක් තියනවා නම් එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්ලගෙන්, ආරකෂකයන්ගෙන්, උපදේශකයන්ගෙන් එතුමා ඇත්තටම ගියා ද කියලා අහන්න පුලුවන්.”
“සැක කරන එක සාධාරණයි. ඇයි… අද මොකක් හරි තමන් අසීරුතාවයකට පත්වන වීඩියෝවක් ආපු ගමන් කියන්නේ ඒ මම නෙමෙයි… ඒ.අයි වැඩක්… එහෙව් එකේ මේකටත් එහෙම සැකයක් තියනවා නම් කමක් නෑ. විපක්ෂ නායක තුමාගෙන්ම සැක දුරු කරගන්න පුලුවන්. එතුමාගේ උපදේශකවරු ලේකම්වරු ආරක්ෂකයින්ගෙන් සැක දුරුකරගන්න පුලුවන්. “ ගම්මන්පිල පැහැදිලි කිරීම කරන්නේ නලීන් බණ්ඩාරගේ විවේචනය නොදැනුන ලෙසය. හැබැයි ගම්මන්පිල පැහැදිලි කරන්නේ නලීන් ගේ කතාවේ ගැඹුරු උත්ප්රාසය තේරුම් ගෙන එය තවත් ට්‍රෝල් කිරීමේ අදහසින් බව පෙනෙන්නේය.
ලස්සනම කෑල්ල එය නොවේ. මේ කිසිම දේක හසරක් නොදැක සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතාන කියන කතාවය. නලීන් බණ්ඩාරගේ උත්ප්රාසය හෝ මතුවන සංවාදය ගොං පාට් එකක් කිරීම සඳහා ගම්මන්පිල කරන ප්‍රකාශය ගැන මෙලෝ හසරක් නැතිව ජගත් විතාන දෙන ආතල් එක ඇත්තටම පට්ටය.
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන ගෙන් කළුතර දී මාධ්‍ය මෙසේ ඇසුවේය. .
මාධ්‍ය – ඇයි විපක්ෂ නායකවරයා ගම්මන්පිල මහත්තයගේ පොත එළිදක්වන එකට ගියේ. එය දැන් රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වෙලා නේද?
ජගත් විතාන – “ නෑ… විපක්ෂ නායකවරයා විතරයි එතෙන්ට සහභාගී නොවුනේ. “
මාධ්‍ය – මේ මොනවද කියන්නේ. අපි දකිනවනේ එතුමා එතන ඉන්නවා.
ජගත් විතාන – ඒ ඉතින් ඒ.අයි නිර්මාණ. ඕවා ඉතින් මේ දවස්වල හරිම සුලභයිනේ. ඒ නිසා විපක්ෂ නායකවරයා එතෙන්ට සහභාගී වුනේ නෑ. ඒක මම දැක්කා. ඒක වගකීමෙන් කියනවා.
මාධ්‍ය – මේක ඒ අයි නිර්මාණයක් කියලා ඔබතුමා කියනවා.
ජගත් විතාන – ඔව්… අනිවාර්යයෙන්ම.
පව් ඕයි ජගත්… මුන්ට මේ විදිහට ගියොත් විපක්ෂය කරන්නට වෙන්නේ ඒ.අයි වලින් හදාගත් ඡන්ද දායකයින් පිරිසක් ලවා ඡන්දය දාගෙනය.







