ශ්‍රී ලංකා දුම්රිය සේවය මෙතෙක් භාවිතා කළ සාම්ප්‍රදායික කඩදාසි ප්‍රවේශ පත්‍ර ක්‍රමය වෙනුවට නව ඩිජිටල් ප්‍රවේශ පත්‍ර පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර තිබේ.
ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ මෙයට සමගාමීව දුම්රිය ස්ථාන සඳහා නවීන ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේ උපකරණ ද හඳුන්වා දී ඇති බවයි.
දුම්රිය සේවය නවීකරණය කිරීම සහ මගීන් හට වඩාත් කාර්යක්ෂම මෙන්ම පහසු සේවාවක් සැපයීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මෙම වසර අවසන් වීමට පෙර සමස්ත ව්‍යාපෘතිය අවසන් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට පවතින සබැඳි (Online) ප්‍රවේශ පත්‍ර වෙන්කිරීමේ ක්‍රමවේදය තවදුරටත් පුළුල් කරමින් මෙම නව ඩිජිටල් පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිතය. මෙහි නියමු ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මාසයේදී කැළණිවැලි දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මුල් අදියරේදී නාරාහේන්පිට, නුගේගොඩ, මාකුඹුර, හෝමාගම සහ පාදුක්ක යන දුම්රිය ස්ථානවල මෙම නව ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව, දිවයින පුරා පිහිටි සෙසු දුම්රිය මාර්ග සඳහා ද මෙම ඩිජිටල් ප්‍රවේශ පත්‍ර පද්ධතිය ව්‍යාප්ත කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.







