-
ආයෙ ඡන්දයකට ඉදිරිපත් වෙන්න අදහසක් ඇත්තෙම නෑ… ඡන්ද බලාගෙන වැඩ කරන්නෙත් නෑ… ජනාධිපතිතුමා පවරපු වගකීම රට වෙනුවෙන් පුලුවන් උපරිමයෙන් කරනවා… ලාල් කියන කතාව අහන්න….
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති වරයෙක් ලෙස කටයුතු කරන විශ්මය ජනක හැකියාව ගැන තමන් කතා කරන්නේ “අපේ එකෙක්” නිසා නොවන බවත්, මින් පෙර මෑත ඉතිහාසයේ දී මෙවැනි කළමනාකරණ හැකියාවක් යම් තරමකින් හෝ පෙන්නූ ජනාධිපතිවරයෙක් වේ නම් ඒ රනිල් වික්‍රමසිංහ පමණක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය ලාල් කාන්ත ප්‍රකාශ කළේය.
විශේෂ යූ ටියුබ් සංවාදයකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ මොහොතේ රටේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධව සියලුම දෙනාට ඉතාම හොඳ අවබෝධයක් ඇති නමුත් මතවාදීමය ලෙස බෙදුනු සමාජයක විරෝධතා සහ විවේචන සහිත දේශපාලන මතවාද ඇතිවීම ඉතාම සාමාන්‍ය ස්වභාවයක් බවය. එහි කිසිම වරදක් නොමැති බව ද ලාල් කාන්ත ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු අවධාරණය කළේ ජනාධිපතිවරයා විසින් පැවරූ රාජකාරිය මේ මොහොතේ හැකි උපරිමයෙන් රට වෙනුවෙන් කරනවා හැර නැවත එන ඡන්දයක් සම්බන්ධව තමන් යම් පමණකින් හෝ නොසිතන බවය. නැවත ඡන්දයකට ඉදිරිපත් වීමේ අභිලාෂයක් ද තමන්ට නොමැති බව කී ලාල් කාන්ත ඇමතිවරයා නැවත ඡන්දය ලැබෙනවා ද, නැද්ද යන්න වැඩකටම නැති දෙයක් බවත්, ඡන්දයක් පැමිනුන හොත් ඒ මොහොතේ ඇතිවන තත්ත්වය මත කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා රජය තුළ කරන කාර්ය භාර්ය විස්තර කරමින් ලාල් කාන්ත ඇමතිවරයා මෙසේ පැවසුවේය.
මේ මොහොතේ ජනාධිපති තුමාගේ මැදිහත්වීම මට නම් හිතාගන්න බැරි තරමේ එකක්. මේ හැම එකකදිම… කැබිනට් මණ්ඩලයක් කැඳවලා අදාල යාන්ත්‍රණයන් හදලා සමහර ගොඩාක් දේවල් ජනාධිපති තුමාම හිතලා කරන වැඩ…
කිව්වට කමක් නෑ… සමහර දේවල්වලදි විශ්ව කර්මයෙක් වගේ වැඩ කරන ලක්ෂණයක් තියනවා. අපිටත් ආඩම්බරයි එහෙම කැබිනට් මණ්ඩලයක ඉන්න තිබ්බ එක. මේ ඔක්කොම අස්සේ කෝල් එක දාලා අහනවා මොක ද ලාලා පෝර ප්රශ්නය කියලා. එහෙම අහපු වෙලාවක තමයි මම කිව්වේ අපි පොහොර සමාගම් ඔක්කොම ගෙනල්ලා ඔබතුමා අපිට දෙන්න පැය බාගයක්වත් කතා කරන්න කියලා.
ඒකත් දෙනවා. හැම දේටම මැදිහත් වෙමින් සියල්ල කළමනාකරණය කරන්න මග පෙන්වනවා.
මම මේ අපේ මිනිහා හින්දා කියනවා නෙමෙයි. මම හිතන්නේ නෑ මෙහෙම ජනාධිපති කෙනෙක් හිටියා කියලා. මීට කලින් මේ වගේ යම් හැකියාවක් තිබ්බා කියලා හිතනවා නම් අපි දන්න මෑත කාලෙයෙදි ඒ හැකියාව රනිල්ට ටිකක් තිබ්බා.
රාජපක්ෂලා ගැන මෛත්රීලා ගැන චන්ද්‍රිකාලා ගැන කතා කරන්නවත් අවශ්‍ය නෑ. අපේ රටට මේ ආපු තත්ත්වයන් උඩදි ඉතා මැනවින් ජනාධිපති තුමා තමන්ගේ සුවිශේෂී හැකියාව අපිටත් පෙන්නලා තියනවා. අපේ රාජ්‍ය නිලධාරීන්ටත් පෙන්නලා තියනවා. රටටත් පෙන්නලා තියනවා. ලෝකයටත් පෙන්නලා තිනයනවා.
ඒ නිසා අපට මේ ඇතිවෙලා තියන තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට රට ගොඩනැනෙ වැඩසටහන කරගෙන යන්න පුලුවන් කියන අසීමිත විශ්වාසයක් තියනවා.







