ඉන්ධන පරිභෝජනයේ තියුණු කළමනාකරණයක් සඳහා රජය තීරණය කළේ දිගු කාලීන ඩෙන්ඩර් පටිපාටිය මත නිසි ආකාරයෙන් ප්රදානය කළ ටෙන්ඩර් දෙකකට අදාල බොරතෙල් නැවු දෙකක් සහ පුද්ගලික අංශයේ ඉන්ධන සැපයුම් සිදුකරන නැවක් ප්‍රමාද වීම දන්වා තිබීම නිසා අත්‍යාවශ්‍ය ඉන්ධන සැපයුමේ අඩුවක් ඇති වීම පාලනය කරගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසුවේය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඒ අනුව පුද්ගලික අංශයේ ඉන්ධන තොගයට අමතරව රජයේ දීර්ඝ කාලීන ටෙන්ඩර මත ලැබිය යුතු බොරතෙල් මෙට්‍රික් ටොන් අනූ දහසක ප්‍රමාණයක් නියමිත දින වකවානුවලට නොලැබීමේ අවදානමක් ඇති වී තිබෙන බවය.

ලෝකයම මුහුණ දී ඇති මේ බලශක්ති අර්බුදය යුද්ධයේම ස්වභාවය බව කී ජනාධිපතිවරයා යුද්ධයේ නියැලි සීටින එක් පාර්ශවයක අරමුණක් වී ඇත්තේ බලශක්ති වෙළෙඳපලේ ජාත්‍යාන්තර මට්ටමින් අර්බුදයක් ඇති කර පීඩනය අනෙක් පාර්ශවය වෙත බැරකිරීම බව පැහැදිලි කළේය.
අපේ රටේ බලශක්ති කළමනාකරණය ඉතාම ක්‍රමවත් රටාවකට නිශ්චිත ගණනය කිරීම් මත පදනම්ව සිද්ධවෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බලශක්ති සුරක්ෂිතතාවය රැකුනේ වරායට නැවක් පැමිණීම, නැව වරාය තුළ රැඳෙමින් ඉන්ධන ගබඩාවලට පොම්ප කරන කාලය, ගබඩා ධාරිතාව කළමනාකරණය කිරීම, ඒ මත පදනම්ව සක්‍රීයවන ඉන්ධන බෙදාහැරීමේ ජාලය ඇතුලු එකිනෙකට බද්ධ වූ සමස්ථයකින් බව පැහැදිලි කළේය.
මේ ජාලයේ එක් කොටසක බිඳවැටීමක් සමස්ථ ජාලයම අර්බුදයට පත් කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටියත් පුරා වසර 70ක් තිස්සේ රට දිවුවේ මේ ආකාරයට බව සිහි කළේය.
මේ සඳහා පිළිතුරු සෙවීමට රජය ලෙස ප්රශස්ත ලෙස මැදිහත්වී සිටින බව කී ජනාධිපතිවරයා රජයේ අපේක්ෂාව 2025 වසරේ දී රට අත් කරගත් ප්‍රශස්ථ ආර්ථික වර්ධනය සම්බන්ධ වාර්තාගත දත්ත සහිත ආර්ථික ජයග්රහණයන් අඛණ්ඩය පවත්වා ගනිමින් අර්බුදයට මුහුණ දීම බව පැවසුවේය.
වෙනස් වී ඇති සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න සම්බන්ධව අදහසක් ද සහිතව මේ ප්‍රශ්නයට මැදිහත්වන ආකාරය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළේය.
ජනාධිපිතවරයා ඉන්ධන අර්බුදය පිළිබඳ රජය සිදුකරන කළමනාකරණයේ යථාර්ථය මෙසේ පැහැදිලි කළේය.
“අපේ ප්‍රධාන බලශක්ති මෙවලම් වන්නේ ඉන්ධන, ගෑස් සහ ගල්අගුරු. ඉන්ධනවලට අපි ඉතා හොඳ දිගුකාලීන ටෙන්ඩර් ප්රදානය කර තිබුණා. හැබැයි, අපිට බොරතෙල් සැපයුම් මෙට්ට්‍රික් ටොන් 90,000ක නැව් දෙකක් නියමිත කාලයේදී ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. මෙම නැව් කාලයක් ප්‍රමාද වන බව දැනුම් දී තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ අපේ තෙල් අලෙවි කරන්නන් සිටිනවා. ඔවුන්ගේ එක් නැවක් නියමිත පරිදි ලැබෙන්නේ නැහැ කියා දැනට වාර්තා වී තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වන ඉන්ධන සැපයුමේ අඩුවක් තිබෙනවා. “
“වරායට නැවක් පැමිණීමේදී ගබඩාවලට තෙල් පොම්ප කිරීම, නැව එහි තිබෙන කාලය, ගබඩාවල තිබෙන ප්‍රමාණය, නැවත නැවකට ඒ වෙත ළඟා වීමේ හැකියාව යන දෑ කළමනාකරණය කරන පද්ධතියක් තිබෙනවා. එක් නැවක හෝ ප්‍රමාදයක් සම්පූර්ණ ජාලයම අර්බුදයට පත් කරනවා. මොකද අපි සීමිත සම්පත්වලින් තමයි මේ බලශක්ති ක්ෂේත්රය පාලනය කරන්නේ. ඒ නිසා අපි ඉලක්ක සහගත ලෙස සැලසුම් කර තිබූ ඉන්ධන සැපයුම අපිට ලැබෙන්නේ නැහැ. එසේ නම් අපි මීට විසඳුම් සොයන්නේ කොහොමද? “
රජයේ ඉලක්කය –
“විශේෂයෙන් 2025 වසර අපේ ආර්ථිකයේ ඇතැම් දත්ත ලංකා ඉතිහාසයේ ඉතා ප්‍රශස්තම දත්ත. ඒ වගේම, දශක ගණනාවකට පසු අපි අත්පත් කර ගත් දත්ත තිබෙනවා. ඒ නිසා ආර්ථික තලයේ ඉතා හොඳ ජයග්‍රහණයක් අපි 2025 වසරේ අත්පත් කරගෙන තිබෙනවා. අපේ අභියෝගය තමයි මේ ආර්ථික ජයග්‍රහණ අඛණ්ඩතාවෙන් පවත්වා ගෙන යමින් මේ අර්බුදයට මුහුණදෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් මීට පෙර තිබුණාට වඩා තමන්ගේ ජීවන රටාවේ යම් වෙනසක් ඇති කරගෙන තිබෙනවා. එම ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද කියන එක පිළිබදවත් අපි අවධානය යොමු කර තිබෙනවා. මෙම කරුණු මත තමයි, අපි බලශක්ති ක්ෂේත්රයේ මතුව තිබෙන ගැටලුවලට විසඳුම් සොයන්නේ. “
“මේ ආර්ථිකයේ අත්පත් කර ගෙන තිබෙන ජයග්‍රහණ අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ජනතාවගේ ජන ජීවිතය අඩාළ නොවී පවත්වා ගෙන යාමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ සඳහා මැදිහත් වන්නේ. ඒ සඳහා අපි ආරම්භයේදීම ආර්ථික අවේක්ෂණ කමිටුවක් පිහිටුවනු ලැබුවා. එම කමිටුව ඉතා කෙටි කාලයන් තුළ රැස් වෙමින් ඇති වන තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරනවා. ඒ වගේම මහබැංකුව දවස් දෙකකට වරක් ඇති වී තිබෙන තත්ත්වයන් සහ ගත යුතු පියවර පිළිබඳ නව වාර්තා අපිට ඉදිරිපත් කරනවා. එම වාර්තා පිළිබඳ ආර්ථික අවේක්ෂණ කමිටුව තුළ සාකච්ඡා කරමින් අපි ඉතා ප්රශස්ත ලෙස තීන්දු තීරණ ගන්නවා.”
බලශක්ති සැපයුම් පවත්වා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග
- රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්
“යම් තීන්දු තීරණ ප්‍රමාද නොවිය යුතුයි. ඒ වගේම දත්ත අධ්‍යයනය කරමින් නිසි අවස්ථාවේදීම ගත යුතු තීන්දු තිබෙනවා. ඊට අමතරව ආර්ථික අවේක්ෂණ කමිටුවේ මැදිහත් වීමෙන් තවත් ක්ෂේත්‍ර කිහිපයක තීන්දු තීරණ ගැනීම සිදු වෙනවා. “
“බලශක්ති සැපයුම සාර්ථක කර ගැනීම සඳහා කරන මැදිහත් වීම එහි ප්‍රධාන වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වන විට මැදිහත් වීම් කිහිපයක් කර තිබෙනවා. අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මිත්‍ර රාජ්‍යයන් සමග ඉතා සමීප සාකච්ඡාවක නිරත වී සිටිනවා, ඒවායේ ඉතා හොඳ ප්‍රගතියක් තිබෙන බවද ප්‍රකාශ කිරීමට කැමතියි. “
- හදිසි ටෙන්ඩර් කැඳවීම්
“දෙවනි එක, අපි ඉක්මන් ටෙන්ඩර් කිහිපයක් දැම්මා. අද අපි ටෙන්ඩරයක් විවෘත කළා. එහිදී අපට ඩීසල්, බොරතෙල්, ලිහිසි තෙල්, පෙට්‍රල් සඳහා ඉතාමත් විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ලංසු පැමිණ තිබෙනවා. අපි ඔවුන්ට ඒ ටෙන්ඩර් ප්රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමාද වන කාලය ආවරණය කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. “
“ඒ වගේම ඕනෑම මොහොතකදී ඉන්ධන සපයන නෞකාවක් පැමිණෙන අතරමඟ යම් අර්බුදයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා. ඒ සඳහා අතිරික්ත වශයෙනුත් අපි ටෙන්ඩර් ප්රදානය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ නිසා අපි අද එය සම්පූර්ණ කළා. ඒ වගේම හෙට දිනයේ තවත් ඩීසල් ටෙන්ඩරයක් ප්රදානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතනදිත් අපට විශ්වාසවන්ත සැපයුම්කරුවකු එනවා. මේ වෙලාවේ අපට විශ්වාසවන්ත සැපයුම්කරුවන් අවශ්‍යයි. ඒ සඳහා අපි කටයුතු කර තිබෙනවා. “
“යම් මිල වැඩි වීමක් තිබෙනවා, ඒ ටෙන්ඩර් දෙස බැලුවම. සාමාන්‍යයෙන් ප්‍රීමියම් අගය ඩොලර් තුනට වඩා අඩුවෙන් තමයි තිබුණේ. මේවායේ ප්‍රීමියම් අගය ඩොලර් තුනට වඩා වැඩියි. ඒ නිසා යම් මිල වැඩි වීමක් තිබෙනවා. එහෙත් අපේ අපේක්ෂාව තිබෙන්නේ බලශක්ති සැපයුම් අඛණ්ඩව ලබා දීමයි. “
“මේ වගේ අවස්ථාවකදී අපි දන්නවා ලෝකයේ කළු කඩයක් ගොඩනැගෙනවා. මුහුදේ තිබෙන නැව් එහෙට මෙහෙට අලෙවි කරනවා. එකම නැවට නියෝජිතයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වෙනවා. මෙවැනි අර්බුදයකදී ඇති වන තත්ත්වය තමයි එය. ඒ නිසා ක්ෂණිකව තීන්දු තීරණ ගෙන මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන ප්රශස්ත නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් කැබිනට් මණ්ඩලයෙන් පත් කර තිබෙනවා. අපේ රටේ සියලු මිලදී ගැනීම් ප්‍රසම්පාදන කොමිසමට යටත් වෙනවා. ප්‍රසම්පාදන කොමිසමෙන් අපි ඒ සඳහා අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ඒ කමිටුව විසින් ගනු ලබන තීන්දු කැබිනට් මණ්ඩලය අනුමත කර ලබා දෙනවා. එයද ක්ෂණිකව ඉන්ධන සපයා ගැනීම සඳහා තිබෙන ක්‍රියාමාර්ගයක්. එම ක්‍රියාමාර්ගය අපි අනුගමනය කරනවා. “
- පුද්ගලික අංශයට ඉන්ධන ආනයන බලපත්
මීළඟට පෞද්ගලික අංශයේ අපේ රටේ අපනයනකරුවන් සහ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් වැනි ඩොලර්වලින් ව්‍යාපාරයේ යෙදෙන පිරිස ඔවුන්ට අවශ්‍ය වන තෙල් ආනයනය කර ගැනීම සඳහා බලපත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. අපි තාවකලිකව ඔවුන්ට ඒ අවස්ථාව ලබා දී තිබෙනවා. අපනයනකරුවන් 30ක් පමණ මේ සඳහා ලියාපදිංචි වී තිබෙනවා.
සංචාරක කර්මාන්තයටත් එය ලබා දෙන්න සූදානම්. ඔවුන් ඩොලර්වලින් තෙල් ආනයනය කරනවා. ඩොලර්වලින් තෙල් අලෙවි කරනවා. හෙට උදේ සිට අපනයනකරුවන් සඳහා ඉන්ධන සැපයීමට හැකියාව ලැබෙනවා. ඔවුන් ඉන්ධන සොයා ගෙන තිබෙනවා. ඒ ඉන්ධන ඔවුන්ගේ ගබඩාවල තිබෙනවා. ඒ නිසා අපනයනකරුවන්ට සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිසට හෙට උදේ සිට පෞද්ගලික සමාගම් එම ඉන්ධන ලබා දීමට කටයුතු කරනවා. මේ අනුව, බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අපි මෙවැනි ක්‍රමවේද ගණනාවකින් මැදිහත් වෙනවා.







