අසේල කුරුළුවංශ –
ඉරාන නෞකා දෙකක සිටි පිරිසට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මානුෂීය ආධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වීම අගය කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
ලොව බලවත් රටවල් යුද්ධයක පැටලී තිබෙන මෙවන් අවස්ථාවක මේ ආකාර තීරණයක් ගැනීම ඉතා අසීරු නමුත් ජනපතිවරයා බුද්ධිමත්ව අවශ්‍යය තීරණය අවශ්‍යය මොහොතේ ගෙන තිබෙන බවද උන්වහන්සේ කීහ.
මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවටද වක්‍රාකාරව එහි පාර්ශවකරුවෙකු වීමට සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාරන්පනාවේ ආනන්න අනුනාහිමියෝ මෙසේද පැවසූහ.
“ඉරානය සහ ඇමරිකාව අතර මේ දිනවල පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකා වැනි පෙරදිග රටවලටත් වක්‍රාකාරව බලපාන සේයාවන් දැන් අපිට දකින්න ලැබෙනවා. පසුගිය දිනක ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නැවත් විනාශ වුණා. එහිදී විපතට පත්වූවන් සඳහා ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මානුෂීය සහන සැලසීමේ අත්‍යවශ්‍යය තත්ත්වයකට රජය මුහුණ දුන්නා. එම අවස්ථාවේ රජය විපතට පත් ජනතාවට පිහිට වීම සඳහා ගත් තීරණය අප අගය කළ යුතුයි. ජත්‍යන්තර සම්මුතීන්ට එකඟව ක්‍රියා කරන රටක් ලෙස එම තීරණය අප ගත යුතුව තිබූ එකක්. “
තවත් ඉරාන නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ආධාර ඉල්ලා තිබුණා. එහිදී ජනාධිපතිවරයා ඉතාම බුද්ධිබමත්ව කටයුතු කරමින් ඊට මැදිහත් වුණා. ජත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය නොකර යුද්ධයට මැදිහත්ව සිටින බලවත් රටවල් වලටද අගතියක් නොවන අකායෙන් එතුමා බොහෝ මැදහත් තීරණකට එළඹ තිබුණා. එම නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්නත් ඉරාන නැවියන් ආරක්ෂිතව රටට ගෙනවිත් මානුෂීය සහන සලසන්නත් රජය කටයුතු කළා. ඒක බෙහෙවින් අගය කළ යුතුයි.”
“මේක ඇත්තටම අසීරු තීරණයක්. බලවත් රටවල් අතර පවතින යුද්ධයකදී ලංකාව වැනි රටක් ඊට මැදිහත්වීමේදී අතිශය ප්‍රවේශම් විය යුතුයි. මධ්‍යස්ථ බවින් යුක්තව එවැනි තීරණයක් තමයි අවස්ථානුකූලව ගත යුතු වන්නේ. එක් රටකට පක්ෂව තවත් රටකට ප්රතිපක්ෂව තීරණ ගතහොත් රටක් ලෙස අපිට අනිසි ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවිය හැකියි. “
“මෙවැනි අවස්ථාවක මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තමයි වඩාත් කාලෝචිතයි. බෞද්ධ රටක් ලෙසත් ශ්‍රී ලාංකිකයින් ලෙසත් අපි හැම වෙලාවෙම අපේක්ෂා කරන්නේ සාමයයි. “
“අපි තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක්. යුද්ධයේ ආදිනව අපි දන්නවා. අපේ ශාස්තෘන් වහන්සේ ලෝකයාට දේශනා කළේ මානව වර්ගායාගේ එකමුතුවේ සහ මිනිසත් බවේ වටිකාමකයි. එය තේරුම් ගෙන මේ ලෝක බලවතුන් ලෝක සාමය සඳහා අවධානය යොමු කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. වෛරයෙන් වෛරය කිසිදා නොසංසිඳෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙන උතුම් ඉගැන්වීමක්. ඒ දහම් මග අනුව කටයුතු කරමින් ලෝක සාමය ඇතිකර ගන්නට ලෝක බලවතුන් කටයුතු කිරීම තමයි අපි අගයකොට සලකන්නේ.”







