-
ලීටර 390ක් සමග පුල්මුඩේ තෙල් ජාවාරම්කරුවෙකුත් අත් අඩංගුවට පත් වෙලා…
ගලෙන්බිඳුණුවැව, ගෝමරන්ගල්ල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 1,900ක තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බැරල් 10ක බහා සඟවා තිබූ මෙම ඩීසල් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ගෝමරන්ගල්ල ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අද දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ අතර, පුල්මුඩේ නගරයේ වෙළඳසැලක බලපත්‍ර රහිතව ඩීසල් රැස්කර වැඩි මිලට අලෙවි කරමින් සිටි තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්විය.
පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී ඩීසල් ලීටර් 390ක් අත්අඩංගුවට ගෙන ඇත. අර්පත් නගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරු අද කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ යක්කල මල්වතුහිරිපිටිය ප්‍රදේශයෙන් ලීටර ලීටර 400ක් ගබඩා කරගෙන සිටි පුද්ගලයෙක් ඩීසල් තොගයත් සමග පොලිස් අත් අංගුවට පත් වූයේය. එමෙන්ම මාර්තු 01 දා සහ දෙවැනිදා ද අනුරාධපුර, තඹුත්තේගම සහ මීගමුව ප්‍රදේශවලින් මෙම මහා පරිමාණ නීති විරෝධී තොග රැස්කරන්නන් පොලිස් අත් අඩංගුවට පත් වූයේය.
කෙසේ වුවද මෙම තොග රැස් කරන්නන් අනාත කරමින් රටේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවතින ආකාරය පෙනේ. ඊයේ සවස්වන විට ඉන්ධනහල් අසල පෝලිම් මුලුමනින්ම නැති වී ගියේය. අද දින දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.







