මුදල් සහ ත්‍රිරෝද රථය කොල්ලකෑමේ අරමුණින් 75 හැවිරිදි රියදුරෙකු ඝාතනය කළ මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ 16 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු විසින් සිදුකළ පාපොච්චාරණයකට අනුව මෙම ඝාතනය අනාවරණය වී ඇත.
පසුගිය 21 වැනිදා රාත්‍රී 9.30 ට පමණ සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව තිබුණි.
ඊයේ (22) උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ තිබී මොහුගේ සිරුර හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ පුළුල් විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අදාළ 16 හැවිරිදි සැකකරු සමඟ මරණකරු එම කුලී ගමන පිටත්ව ගොස් ඇති බවයි.
සැකකරු විසින් රියදුරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර සිරුර කාණුවට දමා ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් තිබේ. අනතුරුව එම රථය පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් අසල අතහැර දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී.
පොලීසිය විසින් සැකකාර තරුණයාව ඔහුගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව තහවුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







