නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ –
-
තමන්ට භාරදෙන නඩු සම්බන්ධයෙන් තරාතිරම නොබලා පෙනී සිටීමට නීතිඥයන් බැඳී සිටිනවා. ..!
-
නීතිඥ සහාය නොමැති සැකකරුවන්ට අධිකරණය මගින් නොමිලේ නීතිඥ සහාය ලබා දෙනවා..”
නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක අමානුෂික ලෙස මහ මඟ සිය මෝටර් රිය තුළ දී වෙඩි තබා මරා දමා වෙඩික්කරුවන් පලා ගොස් තිබේ. ටික වේලාවකින් ප්‍රකාශ වන්නේ එම නීතිඥවරයා පාතාලයේ පුද්ගලයෙකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට පසුව ඉන් ඉවත් වී ප්‍රතිවිරුද්ධ පාතාලයේ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති බවත් ඒ හේතුවෙන් මුල් පුද්ගලයා විසින් නීතිඥයා හා බිරිය ඝාතනය කළ බවත්ය.
සිද්ධිය පාතාලය හා නීතිඥයා අතර ආරවුලක් නම් එම නීතිඥවරයාගේ බිරිඳ මරා දමන්නේ ඇයි ?. එතරම් ඉක්මනින් මේ ඝාතනයේ ඇතුළාන්තය ගැන තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කරන්න්නට සිද්ධිය සම්බන්ධව මෙතරම් හොඳින් දැන සිටියේ කවුද ?. තොරතුරු ප්‍රකාශ කළේ පාතාලයේ මාධ්‍ය ප්‍රකාශක ද ?. පොලිසිය මේ පිළිබඳව දැනුවත්ව සිටියේ ද?. පොලිසිය මේ පිළිබඳව දැනුවත්ව සිටියේ නම් ඒ පිළිබඳව එම නීතිඥවරයාට අනතුරු අඟවා ආරක්ෂාව සලසාදිය යුතුව තිබුණා නොවේද ?
කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ මෙම ඝාතනය පාතාල පුද්ගලයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම හුවා දක්මවමින් සමහර අශීලාචාර පුද්ගලයන් විසින් සාධාරණීකරණය කරනු දක්නට ලැබීමත් පිළිකුල් සහගතය. අපරාධකරුවන් ලෙස හඳුන්වනු ලබන පුද්ගලයන් උදෙසා නීතිඥ සහාය ලබා නොදෙන ලෙස සමහර පුද්ගලයන් විසින් මහජනයා අතර මතයක් පතුරුවා ඇත. සමහර නඩුවලදී එලෙස සැකකරුවන්ට නීතිඥ සහාය ලබා නොදෙන ලෙස සමහර පුද්ගලයන් උද්ඝෝෂණය කරනු ද දක්නට ලැබේ.
නීතියේ කියැවෙන්නේ කුමක් ද?
නමුත් ශ්‍රී ලංකාවේ භාවිතා වන නීතිය අනුව මෙන්ම ජාත්‍යන්තර නීතිය අනුවද මානව හිමිකම් සම්මුති සහ ගිවිසුම් අනුවද එය කිසිසේත්ම සිදු කළ නොහැක්කක් බව වටහා ගත යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතිය එක්සත් රාජධානියේ අධිකරණ ක්‍රමවේදයේ ආභාසය ලබා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ නඩු විභාග සඳහා භාවිතාවන්නේ පොදු නීති පද්ධතියට (Common Law) අයත් ප්‍රතිවාදී ක්රමවේදයයි (Adversarial System). මෙහිදී විනිසුරුවරයා මධ්‍යස්ථව සිටින අතර නඩුවේ දෙපාර්ශ්වයන් විසින් අදාල චෝදනාවන්ට අදාළව සාක්ෂි ඉදිරිපත් කරමින් හරස් ප්‍රශ්න අසමින් තර්ක සහ ප්‍රති තර්ක ඉදිරිපත් කරයි.
අපරාධයක් නම් අදාල චෝදනා රජයේ පාර්ශ්වය විසින් එනම් නීතිපතිවරයා විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතුය. චූදිතයා විසින් තමන්ට එරෙහිව ඇති සාක්ෂි බිඳ හෙළීම හෝ සාධාරණ සැකයක් මතු කිරීම සිදු කළයුතුය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් විනිසුරුවරයා තමන්ගේ අදහසට අනුව තීන්දුව ලබාදෙයි. එනම් මෙහිදී තීන්දුව ලබාදෙන්නේ ඇත්ත වශයෙන්ම “ සත්‍යය සහ යුක්තිය “ පසිදලන අයුරින් නොව දෙපාර්ශ්වය දක්වන කරුණු අනුව විනිසුරුවරයා දරන මතය අනුවය.
මෙය එක් එක් විනිසුරුවරයා හිතන ආකාරය අනුව වෙනස් වේ. බහු විනිසුරු අධිකරණවලදී නඩුවක එකම තර්ක විතර්ක වලට ඇහුම්කන් දෙන විනිසුරුවන් අවසානයේදී බෙදුණු තීන්දු ලෙස එකිනෙකට පටහැනි තීන්දු ලබා දෙන්නේ එබැවිනි.
මේ සංසිද්ධිය නීති විද්‍යාවේ දාර්ශනික පදනමක් වන යථාර්ථවාදී ගුරුකුලයට(Realist School) අයත් අමෙරිකානු තත්වාකාරවාදය (American Pragmatism) මගින් මනාව පැහැදිලි කරයි. තර්ක මතය සහ විනිසුරුගේ මතය අනුව තීරණ ලබා දෙන නිසා බලා සිටින ජනතාවට බොහෝ විට තේරෙන්නේ “අපරාධකරුවන් ‘ නඩුවලදී නීතිඥයන් විසින් නිදහස් කරගන්නා බවය. නමුත් එය ඇත්තෙන්ම වැරදි අදහසකි. එය මේ ක්රමයේ ආවේණික ලක්ෂණයක් පමණය.
ලෝකයේ වෙනස් අධිකරණ ක්‍රම
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව , ඉන්දියාව වැනි රටවල් මේ ක්‍රමය භාවිතා කරයි.
ලෝකයේ භාවිතා කරන අනෙක් ප්‍රධානතම අධිකරණ ක්‍රමවේදය වන සිවිල් නීති (Civil Law ) පද්ධතියට අදාල විමර්ශනාත්මක ක්‍රමවේදය ( Inquisitorial system ) මීට වඩා වෙනස් ක්රමවේදකි. එහිදී නඩුව මෙහෙයවීම සිදු කරන්නේ විනිසුරුවරයා විසිනි. සාක්ෂි සොයා ගන්නේ අධිකරණය ය. හරස් ප්‍රශ්න හෝ පූර්ව අධිකරණ තීන්දු මෙම ක්‍රමයේදී එතරම් සැලකිල්ලකට භාජනය නොවේ. ක්‍රියාකාරීව සත්‍ය සෙවීම විනිසුරුගේ වගකීම වන අතර පූර්ව අධිකරණ තීන්දු නොතකා ලිඛිත නීති මත තීන්දු ලබාදෙයි. ප්‍රංශය ,ජර්මනීය ඉතාලිය වැනි රටවල් මේ ක්‍රමය අනුගමනය කෙරේ.
දේශීය සහ ජාත්‍යන්තර නීතියට අනුව සෑම චූදිත පුද්ගලයෙකුම වරදකරුවකු ලෙස ඔප්පු වනතුරු නිවැරදිකරුවකු ලෙස සැලකිය යුතුවේ. චූදිත තැනැත්තෙකුට එරෙහිව ඉදිරිපත් වන කරුණු අනුව විනිසුරුවරයා සැකකරු වරදකරු හෝ නිවැරදිකරු කරනු ඇත. තීන්දුවෙන් අතෘප්තියට පත්වන පාර්ශවයකට දෙවරක් අභියාචනයකට සාමාන්‍යයෙන් ඉඩ ප්‍රස්ථාව ඇත (ත්‍රිපුද්ගල මහාධිකරණයකින් ලබාදෙන තීන්දුවකට එරෙහිව අභියාචනය කළ හැක්කේ තව එක් වරක් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි).
මේ අනුව නීතිපතිවරයා රජය වෙනුවෙන් තර්ක ඉදිරිපත් කරන අතර චූදිතයා වෙනුවෙන් ඔහු හෝ නීතිඥයෙකු කරුණු දැක්විය යුතු වේ. උසාවියේදී නීති තර්ක මත පදනම් වන නිශ්චිත ආකෘතිමය ස්වරූපයකින් නඩු විභාගය ගෙනයන නිසා සාධාරණ නඩු විභාගයක් උදෙසා නීතිය පිළිබඳව දැනුම ඇති නීතිඥවරයකුගේ සහාය ලබා ගැනීම අතාවශ්යය. එසේ නොවේ නම් නීතිය පිළිබඳව හසල දැනුමක් ඇති නීතිපතිවරයා නියෝජනය කරන නීතිඥයන් සමඟ නීතිය නොදත් සාමාන්‍ය පුද්ගලයන්ට තර්ක කළ නොහැකිය. එමෙන්ම නීතිය නොදත් සාමාන්‍ය පුද්ගලයන්ට , අධිකරණයට ඒත්තු යන පරිදි ආකෘතිමය ක්‍රමවේදයට තර්ක කොට නඩුව ඉදිරියට ගෙන යා නොහැකිය.
මේ හේතුවෙන්ම ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ (ICCPR Act No. 56 of 2007) 13 වගන්තිය යටතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තියට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් සෑම පුද්ගලයකුටම අවශ්‍ය නම් නීතිඥ සහාය ලබාදිය යුතු බව දක්වා තිබේ.
මේ අනුව නීතිඥවරු කිසිවෙකු පෙනී නොසිටියද සැකකරුට නීතිඥ සහාය අවශ්‍ය නම් ඒ බව විමසා අධිකරණය විසින් නොමිලේ ඔහු වෙනුවෙන් කතා කිරීමට නීතිඥයෙකු පත් කරනු ලබයි. එවිට සිදුවන්නේ මේ චූදිතයන්ට කිසිදු මුදලක් වැය නොකර නීතිඥ සහාය ලබාදීමයි.
පොරොත්තු කුලී රථ පෝලිම් රීතිය. ( Cab Rank Rule )
යම්කිසි පුද්ගලයෙක් පැමිණ නීතිඥවරයෙකුගෙන් තමාගේ නඩු කටයුත්තකට නීතිඥ සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහොත් ඉතාම සීමිත අවස්ථාවකදී හැර ඒ ප්‍රතික්ෂේප කිරීමට වෘත්තීය ආචාර ධර්ම මගින් නීතිඥවරයාට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නේ නැත. මේ සංසිද්ධිය Cab Rank මූලධර්මය ලෙස හඳුන්වනු ලබයි. එය විකසනය වන්නේ බ්‍රිතාන්‍යයේ කුලී රථ රියදුරන් කුලී ගමන් බලාපොරොත්තුවෙන් එක පෙළකට වාහන ගාල් කොටගෙන ( Cab Rank) කිසිදු භේදයකින් තොරව පළමුවෙන් එන තැනැත්තා පළමු කුලී රථයේද දෙවැන්නා දෙවන කුලී රථයේද වශයෙන් පිළිවෙලට කුලී ගමන් ලබා ගැනීමේ මුලධර්මයයි.
මේ අන්දමින්ම නීතිඥවරයාද තමන් පෙනී සිටින නීති ක්ෂේත්රයට අදාළව, තමන්ගේ නිපුණත්වයට අදාළව අය කරන මුදල ලබාදෙන්නේ නම් ලබැඳියාවන් අතර ගැටුමක් නොවේ නම් සහ එම නඩුවට වෙන් කිරීමට කාලය තිබේ නම් එම නඩුව භාර ගැනීමට ඔහු බැඳී සිටි. එය සාධාරණ නඩු විභාගයක් සහතික කිරීමට සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය වන අංගයකි. මෙම සංකල්පය මුල් වරට 1792 වසරේදී ධනවත් සහ ප්රමුඛ බ්‍රිතාන්‍ය බැරිස්ටර්වරයෙකු වූ තෝමස් අර්ස්කයින් ( barrister Thomas Erskine) සම්බන්ධ සිද්ධියකි. ඔහු එවක බ්‍රිතාන්‍යයේ බලවත් දේශපාලන පක්ෂයක් සමග සමීප සබඳතා පවතිමින් සිටියේය. එහිදී සිය දේශපාලන ජීවිතයට අහිතකර ලෙස බලපා හැකි බවට සිය මිතුරන් විසින් දැක්වූ කරුණු නොතකා රජයට විරුද්ධව කරුණු ඇතුළත් පොතක් ලියා පල කරන ලද පුද්ගලයෙකු වූ තෝමස් පේන් (Thomas Paine) නැමැත්තා වෙනුවෙන් ඔහු අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට ඉදිරිපත් විය.
චූදිතයා වෙනුවෙන් ඔහු දැක්වූ කරුණු අධිකරණය ඉදිරියේ අසාර්ථක වුවත් ඔහු විසින් ප්‍රකාශ කොට සිටියේ බ්‍රිතාන්‍ය අධිකරණයේ ඉතා වැදගත් අපක්ෂපාතී තීරණ ලබා ගැනීම සඳහා වැදගත් වන නීතිඥ සහාය කිසිදු භේදයකින් තොරව ලබාදීම මගින් නීතිඥයන්ගේ නිදහස සහ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම සිදුකළ යුතු බවයි. මෙම රීතිය ශ්‍රී ලංකාවේ අධිකරණ තුළද ක්‍රියාත්මක වේ.
ඒ අනුව ඉතා පැහැදිලි කරුණක් වන්නේ චූදිත පුද්ගලයා මත හෝ චෝදනාව මත හෝ මහජන විරෝධතා හේතුවෙන් නීතිඥයන්ට නඩු කටයුතු භාර නොගෙන සිටීමට ඉඩ ප්‍රස්ථාව නොමැති බවය.
ඇත්තෙන්ම පොලිසිය විසින් සිදු කළ යුතු වන්නේ දේශපාලන බලපෑම් මත හෝ, නැගී එන රැළිවලට යටවෙමින් නිසි පරිදි සාක්ෂි විමර්ශනය නොකර පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට වෘත්තිකයින් ලෙස සිය රාජකාරිය කරමින් ප්‍රබල සාක්ෂි නිසි විමර්ශනයකින් සොයාගෙන චෝදනා ගොනු කිරීමය.
එවිට නීතිපතිවරයාට එම චෝදනා ඔප්පු කිරීම ඉතා පහසු වනු ඇත. එසේ නොමැති වූ විට චූදිතයා නිදහස්වීම නීතිඥයාගේ “ වරදකින්. “ එහෙමත් නැත්නම් “ බොරු කියලා” නිදහස් කර ගත්තා වැනි චෝදනා යොමු කිරීම අන්ත අශිෂ්ට මෙන්ම අගතිගාමී ප්‍රකාශයකි.
බොහෝ චූදිතයන් නිදහස් වන්නේ නීතිඥයින් බොරු කීමෙන් නොව, පොලිසිය විසින් සිදුකරන විමර්ශනවල දුර්වලතා නිසාවෙන්ම බව අධිකරණයේ නඩු තීන්දුවලින් පැහැදිලිවම සොයාගත හැක.







