දිනසේන රතුගමගේ –
රුපියල් ලක්ෂ අනූවක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් යාපනයේ මහා මාර්ගයක දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ (15) දිනයේ අත් අඩංගුවට ගත් එම මෝටර් රථය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ එම රථය මීගමුව ප්රදේශයේ වාහන කුළියට ලබා දෙන ස්ථානයකින් කුලියට ලබා ගෙන ඇති බවය.
එලෙස ලබා ගත් වාහනය යාපනයේ වැසියෙකුට උකස් තබා රුපියල් ලක්ෂ අසූවක මුදලක් කොළඹ සිට පැමිණි පිරිසක් විසින් ලබා ගෙන ඇති බවටද තොරතුරු හෙළි වී ඇත.
මීගමුවේ වාහන කුළියට ලබා දෙන ආයතනයට එය රැගෙන ගිය පිරිස නියමිත දිනයේදී ආපසු ලබා දීමක් සිදු නොකළ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කොට ඇති අතර යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් එම මෝටර් රථය කොළඹ පොලිස් මුලස්ථානයට බාර දීමට පියවර ගෙන තිබේ.







