පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගයට සහභාගී නොවීමට ගත් තීරණය වෙනස් කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇතැයි ප්‍රකට ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවියක්වන ක්‍රික්බස් (Cricbuzz) වාර්තා කර තිබේ.
සිය රජය සමඟ සාකච්ඡා කර මෙම තීරණය නැවත සලකා බැලීමට නම් මෙම කොන්දේසි ඉටු විය යුතු බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අවධාරණය කරයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පවත්වන බව සහතික කරමින් සුහද විසඳුමකට එළඹීම සඳහා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින් සහ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල්, ඊයේ (08) ලාහෝර්හිදී අයි.සී.සී නියෝජිත පිරිසක් හමු වී තිබිණි. එහිදී පාකිස්තානය ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීමක් වූයේ අයි.සී.සී. ආදායමෙන් තමන්ට හිමිවන කොටස වැඩි කරන ලෙසයි.
පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් තුන මෙසේය.
- අයි.සී.සී. ආදායම් කොටස ඉහළ නැංවීම.
- ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික ක්‍රිකට් සබඳතා යළි ආරම්භ කිරීම.
- අතට අත දීමේ ප්‍රොටෝකෝලය (Handshake Protocol) අනිවාර්ය කිරීම.
මෙම අර්බුදය ආරම්භ වූයේ, ඉන්දු-පාකිස්තාන තරගය මධ්‍යස්ථ රටක පැවැත්වීමට නියමිතව තිබියදීත්, ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට තම කණ්ඩායමට අවසර නොදෙන බව පාකිස්තාන රජය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟය. ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් රජය මෙම වර්ජනයට හේතු පැහැදිලිව සඳහන් කර නොතිබුණි.
කෙසේ වෙතත්, ක්‍රිකට් ලෝකයේ පවතින පොදු මතය වන්නේ පාකිස්තානයේ මෙම ස්ථාවරය බංග්ලාදේශය සමඟ සහයෝගීතාවය දැක්වීමක් බවයි. ඉන්දියාවේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් තම තරග ඉන්දියාවෙන් පිටතට ගන්නා ලෙස බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කළ ඉල්ලීම අයි.සී.සී.ය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් විය.
මෙම තත්ත්වය සමනය කිරීම සඳහා අයි.සී.සී.ය පාකිස්තාන බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීය. අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහොසින් නක්වි, අයි.සී.සී. නියෝජ්‍ය සභාපති ඉම්රාන් ඛ්වාජා සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩල සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් ලාහෝර්හිදී සෘජුවම සාකච්ඡාවට එක්වූහ.
ක්‍රික්බස් වෙබ් අඩවියේ වාර්තාවට අනුව, බංග්ලාදේශය ද අයි.සී.සී.යෙන් වන්දියක් අපේක්ෂා කරන අතර, එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට පාකිස්තානය මැදිහත් වනු ඇතැයි සැලකේ.
මෙම ‘ඉල්ලීම්’ පිටුපස ඇති පදනම කුමක්ද?
වාර්තා වී ඇති මෙම ඉල්ලීම් තුන හරහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය අයි.සී.සී.යට යම් බලපෑමක් (Strong-arm) කිරීමට උත්සාහ කරන බව පෙනේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය නොපැවැත්වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විශාල විකාශන ආදායමක් අහිමි වනු ඇති බවත්, එම තර්ජනය උපයෝගී කරගනිමින් තම ඉල්ලීම් දිනාගත හැකි බවත් පාකිස්තානය විශ්වාස කරයි.
දැනට පවතින ආදායම් බෙදී යාමේ ක්‍රමවේදය අනුව පාකිස්තානය සිව්වැනි ස්ථානයේ පසුවේ. ඔවුන්ට සමස්ත ආදායමෙන් හිමිවන්නේ 5.75% කි. 2023 දත්ත වලට අනුව පාකිස්තානය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 34.51ක් අයි.සී.සී.යෙන් උපයන අතර එය ඔවුන්ගේ ක්‍රිකට් පද්ධතිය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වේ. පාකිස්තානයට වඩා වැඩි ආදායමක් ලබන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (ඩොලර් මිලියන 293), එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ඩොලර් මිලියන 139) සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය (ඩොලර් මිලියන 128) පමණි.
ද්විපාර්ශ්වික ක්‍රිකට් සබඳතා යළි ආරම්භ කිරීමේ ඉල්ලීම සම්බන්ධයෙන් යම් අපැහැදිලි බවක් පවතී. මන්ද, දෙරටක් අතර ද්විපාර්ශ්වික තරග පැවැත්වීම පිළිබඳ තීරණය අදාළ රජයන් සතු වන අතර, අයි.සී.සී.යට කළ හැක්කේ මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම පමණි.
අතට අත දීමේ ප්‍රොටෝකෝලය (Handshake Protocol) ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීම ඉදිරිපත් වී ඇත්තේ පසුගිය වසරේ ආසියානු කුසලානයේදී ඉන්දියාව පාකිස්තානය නොසලකා හැරීම හේතුවෙනි. පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, දේශසීමා ත්‍රස්තවාදය සහ රටේ පවතින ජනමතය සැලකිල්ලට ගනිමින් පාකිස්තාන ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩලය සමඟ අතට අත දීම ඉන්දීය කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.







