-
83 කළු ජූලියේදී අසල්වැසි නිවෙස් ගිනි ගනිද්දි මා එළියට යන විට රැගෙන ගියේ පොත් දෙකක් … බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10ක් සහ පොත් 9300ක ප්‍රමාණයක් බෙදා දීම සිදු විය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.
ගම් මට්ටමින් කියවීමේ රුචිය වර්ධනය කරමින් දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින්
‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
2025 වර්ෂය පුරා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදුකරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් විය.
මෙහිදී විශේෂ දේශනයක් සිදු කළ ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස් ඉඹුල සඳහන් කළේ නව සමාජයක් ගොඩනැඟීමේදී නිවැරදි සමාජ කියවීමක් අවශ්‍ය බවත්, ජනතාවගේ කියවීමේ රැචිය ඇති කිරීම සඳහා පොත් අරගෙන ගමින් ගමට යාම සුන්දර අත්දැකීමක් බවත්ය.
සාහිත්‍ය සම්පත්වල සහ සාහිත්‍ය ප්රකාශනවල අඩුවක් නොමැති අපේ රටේ නිවැරදි සහ විධිමත් ක්‍රමවේදයක් යටතේ ඒවා පාඨක ප්‍රජාව වෙත ගෙන යාමට ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇති මෙම වැඩසටහන සරල ක්‍රියාවලියක් නොව ඉතා වටිනා සංස්කෘතික ක්‍රියාවලියක් බව පෙන්වා දුන් මස්ඉඹුල එමගින් පොත් කියවීමේ සංස්කෘතියක් යළි මේ රට තුළ නිර්මාණය වනු ඇති බව පෙන්වා දුන්නේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ද උත්සව සභාව ඇමතූ අතර 83 කළු ජූලියේදී අසල්වැසි නිවෙස් ගිනි ගනිද්දි තමා එළියට යන විට රැගෙන ගියේ පොත් දෙකක් සහ කමිස 03ක් පමණක් බවත්, පොත් කියවීමෙන් ලබාගත් පන්නරයෙන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් කළේය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පරිසරය මෙන්ම මනසද පිරිසිදු කරන වැඩසටහනක් බව පෙන්වා දුන් හනීෆ් යූසුෆ් අනාගත පරපුර වෙනුවෙන් ආරම්භ කළ මෙම වැඩසටහන අතිශයින් අගයන බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ක්ලීන් ශ්‍රී ලංකා කැඳවුම්කරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී. එම්. ආර්. ඩී. අපොන්සු ද මෙහිදී අදහස් දැක්වූහ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ. ජී. ප්‍රදීප් පුෂ්ප කුමාර ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටයහ.
මීට අමතරව, ප්රතිලාභ ලැබූ නගර සභාවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙන්ම මෙම ජාතික මෙහෙවර සඳහා සහය දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, එල් බී ෆිනෑන්ස් ආයතනය, ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයින්ද එක්ව සිටියහ.







