අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු මහජන මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRCSL) හිටපු අධ්යක්ෂ ජෙනරාල්වරයෙකු වන අනූෂ පැල්පිට එළැඹෙන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළේය.
අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
අනුෂ පැල්පිට රුපියල් මිලියන 46ක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2026 ජනවාරි 23දා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී සැකකරුගේ බිරිඳගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශ ලබාගැනීම අවශ්‍ය බවත්, ඇප ලබාදීමෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බවත් සඳහන් කරමින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.
අද ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යළිත් පෙබරවාරි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කරන ලදී.







