2020 වසරේ කැඳවන ලද අයදුම්පත් පදනම් කරගනිමින් සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට උසස්වීම් ලබාදීම අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 145 දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
දීර්ඝ විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.
විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජයරත්නගේ එකඟතාවය ඒ සඳහා හිමිවිය.
නඩු විස්තරයට අනුව, සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා උසස්වීම් ලබාදීමට අයදුම්පත් කැඳවමින් 2020 ජනවාරි 31 වැනි දින පොලිස්පතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
පෙත්සම්කරුවන් චෝදනා කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා උසස්වීම් ලබා දුන්නද, තමන් අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබියදීත් තමන්ට එම අවස්ථාව අහිමි වූ බවයි.
සම්මුඛ පරීක්ෂණ අතරතුර අපේක්ෂකයින් ලබාගත් ලකුණු වැරදි යැයි නිගමනය කර රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පසුව එම ලකුණු සංශෝධනය කළ බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.
ලකුණු ලබා දීමෙන් පසු ඒවා වෙනස් කිරීමට කොමිෂන් සභාවට නීතිමය බලයක් නොමැති බවත්, මෙම ක්‍රියාවලිය හරහා තමන්ට දැඩි අගතියක් සිදු වූ බවත් ඔවුහු තර්ක කළහ.
මීට අමතරව, තමන් මුහුණ දුන් අසාධාරණ සැලකිලි සම්බන්ධයෙන් තවත් කරුණු කිහිපයක් පෙත්සම්කරුවන් විසින් විස්තර කර තිබුණි.
නඩු විභාගය අතරතුර, කරුණු පරීක්ෂා කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අපේක්ෂකයින්ගේ ලකුණු පත්‍රිකා අධිකරණය හමුවට කැඳවනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලකුණු වෙනස් කළ බවට පෙත්සම්කරුවන් කළ චෝදනාව සම්බන්ධයෙන්, එම වෙනස්කම් කිරීමට හේතු වූ කරුණු පිළිබඳව කොමිසමේ ලේකම්වරයා අධිකරණයට පැහැදිලි විස්තරයක් ලබා දී ඇති බවයි. එම පැහැදිලි කිරීම පිළිබඳව අධිකරණය සෑහීමකට පත්වන බවත්, එම ක්‍රියාවලිය නීත්‍යානුකූල බවත් අධිකරණය ප්‍රකාශ කළේය.
පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ තර්කවල නීතිමය පදනමක් නොමැති බවත්, තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔප්පු කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.
ඒ අනුව, පෙත්සම්කරුවන්ට සහනයක් ලබා දීමට තරම් සාධාරණ පදනමක් නොමැති බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ගාස්තු රහිතව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.







