රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (02) පෙරවරු 8.00 සිට තවදුරටත් තීව්ර කිරීමට තීරණය කර ඇත. වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම මීට හේතු වී තිබේ.
මෙම වර්ජන ක්‍රියාවලිය දියත් කරමින් වෛද්‍යවරුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින මූල්‍ය ප්රතිලාභ අතර, වත්මන් උද්ධමනයට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ ‘ප්‍රවාහන සහ නඩත්තු දීමනාව’ (Disturbance, Availability and Transport – DAT allowance) සංශෝධනය කිරීම ප්රමුඛ වේ. මීට අමතරව, රජයේ සේවකයන් සඳහා ලබා දුන් රුපියල් 10,000ක දීමනාව වෛද්‍යවරුන්ගේ මූලික වැටුපට එකතු කිරීම සහ අතිකාල දීමනා ගණනය කිරීමේ පදනම යාවත්කාලීන කිරීම වැනි මූල්‍ය ඉල්ලීම් ද මීට ඇතුළත් ය.
මූල්‍ය ප්‍රතිලාභවලට අමතරව, වෛද්‍ය මාරුවීම් පටිපාටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ රෝහල්වල පවතින උග්‍ර ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද ඔවුහු දැඩි විරෝධය පළ කරති.
අද සිට ක්‍රියාත්මක වන සීමා කිරීම් වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්ර කිරීමත් සමඟ රෝහල් තුළ විශේෂිත වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් GMOA විසින් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව රෝහලේ නොමැති ඖෂධ හෝ වෛද්‍ය උපකරණ බාහිරින් ලබා ගැනීමට රෝගීන්ට නර්දේශ කරන තුණ්ඩු (Prescriptions) නිකුත් කිරීමෙන් වෛද්‍යවරු වැලකී සිටිති.
රෝහලේ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් ලබාගැනීම සඳහා රෝගීන්ට නිර්දේශිත තුණ්ඩු (Prescriptions) නිකුත් කිරීමෙන් වෛද්‍යවරු වැළකී සිටිති.
රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වෙති.
GMOA හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් තමන්ට අනුයුක්ත රෝහලෙන් බැහැරව වෙනත් රෝහල්වල සේවා ආවරණය කිරීම නතර කිරීමට කටයුතු කරති.
ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැතිව අලුතින් විවෘත කරන වාට්ටුවල සේවය සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමෙන් වැළකී සිටීම සහ දේශපාලන කණ්ඩායම් සංවිධානය කරන වෛද්‍ය කඳවුරුවලින් ස්වේච්චාවෙන් සේවය කිරීමෙන් ඉවත් වීමට ද අද සිට දැඩිව කටයුතු කිරීමට GMOA තීන්දු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, වෛද්‍යවරුන් ඉල්ලා සිටින මූල්‍ය දීමනා ලබාදීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් පවතින බවය.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි විශාල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා රජය පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, රෝගී සත්කාරක සේවා බිඳවැටීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රෝහල් අධ්යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇති අතර, සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට වෛද්‍යවරුන්ට ආරාධනා කරන බව ද රජය පවසයි.
පසුගිය 26 වැනිදා ආරම්භ වූ මෙම වෛද්‍ය වර්ජනය අද සිට දැඩි වීමත් සමඟ දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.







