හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඒ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමිනි.
2022 මැයි මස 09 වැනිදා අරගලයට පහර දීමෙන් පසු දිවයින පුරා ඇතිවූ ප්රචන්ඩ ක්‍රියා අතරතුර සිය නිවෙස්වලට සිදුවූ හානිය සඳහා නීතියට පටහැනි ලෙස වන්දි ලබා ගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.
එහි වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇතුළු පිරිසකි. ඔහුට සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන්වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් යන පිරිසට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැන්වූයේය.







