අසේල කුරුළුවංශ –
දිට්වා සුළි කුණාටුවෙන් අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා චීනය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi-Zhenhong) පවසයි.
ශ්‍රී ලංකාව අසීරුතාවට පත්වූ සෑම අවස්ථාවකම චීනය ඉදිරිපත් වූ බවත් අතීතයේ, වර්තමානයේ මෙන්ම ආනගතයේදී ද එම බැඳීම එලෙසම පවතින බවත් ඔහු අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍රත්වය සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රහය මත ගැබිණි මව්වරු 108 දෙනෙකුට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ බෙදාදීම නිමිත්තෙන් අකුරණ දීගල මානාගල විහාරස්ථානයේ පැවැති උත්සවයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi-Zhenhong) මේ බව පැවසුවේය.
මානාගල විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පරණගම ඥාණවිමල නාහිමියන් චීන තානාපතිවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් චීන තානාපති කාර්යාලය මගින් මේ සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් ලබාදී තිබිණි.
දරු ප්‍රසූතියට සූදානමින් සිටින දිවයිනේ විවිධ ප්‍රදේශ වල පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් මව්වරු 108 දෙනෙකු විහාරස්ථානයට කැඳවා ආශිර්වාදාත්මක හා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීමෙන් පසු චීන තානාපති කී සෙන්හොංග් (Qi-Zhenhong) ගේ සහ එම මහත්මියගේ මූලිකත්වයෙන් වියළි ආහාර ද්‍රව්‍ය හා දරු ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට අවශ්‍යය කරන බේසම්, මදුරු දැල් ආදි උපකරණ බෙදාදීම සිදු කෙරුණි.
මානාගල විහාරස්ථානයේ ස්ථාපති ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය නැරඹීමටද චීන තානාපතිවරයා ඇතුළු පිරිස ගියේය.
මානාගල විහාරස්ථාන පරිශ්‍රයේ මීටර් 88 ක උසකින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමාවක් සහ මීටර් 18 ක උසකින් යුත් බෝසත් පිළිරුවක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා චීනය නිරන්තරයෙන් සහය ලබාදෙන බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට දුනුවිල රජමහා විහාරාධිපති අඹන්පොළ ඥානිස්සර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද අකුරණ ප්‍රාදේශීය ලේකම් රුවන්ධිකා හෙන්නායක ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.







