දිනසේන රතුගමගේ –
මන්නාරමේ සවුත්බාර් ප්‍රදේශයේ මුහුදු ජලය පරීක්ෂා කිරීමේ වැඩ සටහනට පළාතේ ධීවරයින්ගෙන් එල්ල වුණු දැඩි විරෝධයක් මත ඊයේ ( 25 ) එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට නිලධාරීන්ට සිදුව තිබේ.
මෙම මුහුදු ජලය පරීක්ෂා කිරීමේ වැඩ සටහන සඳහා මුහුදු කලාපයේ කොටසක ධීවර තොටුපලවල් ඉවත් කිරීමටත් වෙරළාසන්නයේ ධීවර පැල්පත් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමටත් සිදුවන නිසා ඊට එරෙහිව ධීවරයින් විශාල පිරිසක් විරෝධය පල කිරීමත් සමග එම ව්‍යපෘතිය තාවකාලිකව අතහැර දමන්නට නිලධාරීන්ට සිදුව ඇත.
මන්නාරමේ සවුත්බාර් ප්‍රදේශයේ මුහුදු ජලයට විෂ ද්‍රව්‍ය එකතු වී ඇති බවට ඇතිව තිබෙන සැකයක් මත එම කලාපයේ මුහුදු ජලය පරීක්ෂා කිරීම පිණිස මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.
මන්නාරම නගර සභාවේ හා ධීවර නිලධාරීන්ගේ අවසරයකින් තොරව ඉදි කොට ඇති සියලු ඉදිකිරීම් ඉවත් කරන ලෙස මේ අවස්ථාවේදී නිලධාරීන් ධීවර සංගම් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර ඔවුන් එම අවස්ථාවේදී ප්‍රකාශ කොට ඇත්තේ නිලධාරීන් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව මන්නාරම අධිකරණයේ නඩු තුනක් පවරා ඇති නිසා ඒම නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කෙරෙන තුරු ධීවරයින් විසින් සිදු කොට ඇති ඉදිකිරීම් කිසිවක් ඉවත් නොකරන බවය.







