ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, ගැඹුරු මුහුදේදී අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකළ බව නාවික හමුදාව පවසයි.
මෙම මෙහෙයුම ඊයේ (19) උදෑසන දියත්කර තිබිණි.
ගාල්ල ධීවර වරායෙන් 2025 දෙසැම්බර් මස 25 වැනි දින ධීවරයින් හත්දෙනෙකු (07) රැගත් ‘සිනූෂ’ (IMUL-A-2195GLE) නැමති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, නාවික සැතපුම් හාරසිය හැත්තෑ හතරක් (474) දුරින්වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි එහි සිටි ධීවරයෙකු තදබල පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත.
එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබිණි.
ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, දුරකථන මඟින් රෝගියාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් (Tele Therapy) ලබා දී, රෝගියා ආසන්නතම ධීවර වරායක් වෙත රැගෙන ඒමට දැනුම්දී, එම රෝගියා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි.
ඒ අනුව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ඊයේ (2026 ජනවාරි 19) උදෑසන ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ගාල්ල වරායට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.







