කොරියානු වීසා සිද්ධිය සම්බන්ධව තමන් අත් අඩංගුවට ගැනීමට වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (19) පෙත්සම් කරුවන් විසින් ඉල්ලා අස්කරගත්තේය.
ඒ අද අදාල පෙත්සම එස්. තුරෙයිරාජා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දීය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධීකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා මේ අවස්ථාවේ දී අත් අඩංගුවට ගැනීමක් නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවය.
ඒ අනුව පෙත්සම පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවන බවත්, එය ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාල පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර ලබා දුන්නේය.







