කීර්ති ප්රනාන්දු –
කෙටි කෑම වර්ග පහකට සහ බත් පැකට්ටුවට පාලන මිලක් නියම කරන ලෙස ඉල්ලා පාරිභෝගික සේවා අධිකාරියට යෝජනාවක් ඉදිරිපත් කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති හර්ෂණ රුක්ෂාන් ප්රකාශ කළේ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩබලන සභාපති සමන්තා කරුණාතිලකට ඉකුත් (16) දින පාරිභෝගික සේවා අධිකාරියේ දී එම යෝජනාව බාර දුන් බවය.
එහිදී එම යෝජනාව ක්රියාත්මක කිරීම සදහා පාරිභෝගික සේවා අධිකාරියට පූර්ණ සහයෝගය ලබා දෙන බව ද සභාපතිවරයා කියා සිටියේය .

ඒ අනුව මාළු රෝල්ස්, බිත්තර රෝල්ස් සහ චිකන් රොටියක් රුපියල් 80 ක් ලෙසත්, එළවළු රොටියක් රුපියල් 70 ක් හා කට්ලට් එකක් රුපියල් 50 ක් ලෙස පාලන මිලක්ද , ප්ලේන් ආප්පයක් රුපියල් 20 ක් හා බිත්තර ආප්පයක් රුපියල් 60 ක්ද, එළවළු සහිත බත් පාර්සලයක් රුපියල් 220 ක්, කුකුළු මස් සහිත බත් පාර්සලයක් රුපියල් 350ක්, සහ මාළු සහිත බත් පාර්සලක් රුපියල් 300 ක් ලෙස ද පාලන මිලක් පැනවීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා තිබේ.
එසේම රෝහල් තුළ පිහිටි ආපනශාලාවල ටෙන්ඩර් නියමයන් අනුව ආහාරපානවල මිල ගණන් නියම කර ඇතත් එම ආපනශාලාවලින් අඩු මිලට ආහාර පාන ලබා ගත හැක්කේ රෝහල් කාර්ය මණ්ඩලයට පමණක් බවද සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.
එම නීතිය වෙනස් කර රෝහලට පැමිණෙන ජනතාවට ද සහන මිලට ආහාරපාන මිලදී ගැනීමේ පහසුකම් ලබා දිය යුතු බවට යෝජනාවක්ද තම සංගමය මගින් මේ සමග පාරිභෝගික සේවා අධිකාරියට ඉදිරිපත් කළ බව සභාපතිවරයා පැවසුවේය.
මේ වන විට ආපනශාලා සහ අවන්හල් හිමියන් මෙම ආහාර පාන ඉතා අධික ලාභ ලබමින් අලවි කරන බවත් ඉන් පාරිභෝගිකයා දැඩි ලෙස පීඩාවට පත්කර ඇති බැවින් පාරිභෝගික ජනතාව එම අසාධාරණයෙන් ගලවා ගැනීම මෙසේ පාලන මිලක් ඉල්ලා සිටීමේ අරමුණ බවත් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසයි.
පාලන මිලක් නියම කිරීම ඇතුළු මෙම කටයුතු සඳහා ආහාර පනත තුළ කිසියම් ගැටලු තිබේ නම් ඒවා සංශෝධනය කර හෝ මෙම පාලන මිල පැනවීමට කටයුතු කරන ලෙසත් රෝහල් ආපනශාලාවල තිබෙන එම නීති වෙනස් කිරීමට පියවර ගන්නා ලෙසත් තම සංගමය පාරිභෝගික සේවා අධිකාරියෙන් සහ රජයෙන් දැඩිව ඉල්ලීමක් කරන බවද සභාපතිවරයා කීවේය.







