-
නාගදීපයේ සිල් ගන්න යන දකුණේ ජනතාවත්, කතරගම වඳින්න එන උතුරේ ජනතාවත් ජාතිවාදීන් ලෙස හංවඩු ගහන්න එන්න එපා… නාමල්ගෙන් ජනපතිට දැනුම් දීමක්…
දකුණේ ජනතාව යාපනේ සිල්ගැනීමට යෑමත්, උතුරේ ජනතාව කතරගම දෙවිහාමුදුරුවන් වන්දනා කිරීමට පැමිණීමත් ජාතිවාදයෙන් අරුත් ගන්වා ඔවුන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසන්නට සූදානම් නොවන ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දන්වා සිටියේය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (17 ) තඹුත්තේගම දී පැවති පොදුජන පෙරමුනේ රැළියකට සහභාගී වෙමිනි.
ජනාධිපතිවරයාගේ ගමට පැමිණ තමන් වෛරය ඊර්ශ්‍යාව සහ ක්‍රෝධය වපුරවන බව නොකියන ලෙසත් තමන් විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තිය පමණක් කතා කරන බවත් කී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන් විශ්වාස කරන්නේ මේ රට තුළ හෙළ සංස්කෘතිය තුළ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයක සියලුම සංස්කෘතීන් ආරක්ෂා විය යුතු බවය.
තම පියා රණවිරුවන්ගේ කැපවීම මත ලබා ගත් යුද ජයග්‍රහණයේ උපරිම ප්‍රතිඵල අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යාපනයේ ගොස් භුක්ති විඳීම ගැන තමන් දැඩි ලෙස සතුටුවන බවද සිය කතාව අතර නාමල් රාජපක්ෂ පැවසුවේය.
ඔහු මෙසේ ද කීවේය.
“අපේ හාමුදුරුවනේ… අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොඩ නැගෙන්න ඕන කියලා. අවස්ථාවාදී දේශපාලනය තුල තමන්ගේ රට ජාතිය ආගම පවාදීලා හරි තමන්ගේ දේශපාලන බලය රදා පවත්වාගන්නා දේශපාලනයක් නොවෙයි අපට ඕන කරන්නෙ.”
“ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපේ හාමුදුරුවනේ නාගදීපෙට යන්නේ. දැන් යුද්ධය නෑනේ. දැන් යන්න පුලුවන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුණි මඩු මෑණියොත් වන්දනාමාන කරගෙන්නේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමනි… නල්ලූර් දේවස්ථානයේ ඉදලා යාපනයේ කෝවිල් ගණනාවක් පහුකරගෙන තමයි පා ගමනින් කතරගම පුදබිමට ඇවිල්ලා කතරගම දෙයිහාමුදුරුවෝ වැඳ පුදාගන්නේ. ඒක ජාතිවාදය නෙමෙයි… ඒක විශ්වාසය… බෞද්ධයාට නාගදීපය ගැන තියෙන විශ්වාසයම තමයි කතෝලිකයාට මඩු මෑණියන් ගැන තියෙන්නේ. ඒ හා සමාන වූ විශ්වාසයක් භක්තියක් තමයි හින්දු සංස්කෘතිය විශ්වාස කරන කතරගම දෙවි හාමුදුරුවෝ විශ්වාස කරන අයට කතරගම පුදභූමිය ගැන තියෙන්නේ. ඒ භූමිය කඩාගෙන වෙන් කරගෙන පාලනය කරන්නවත් තියන ආසාව නෙමෙයි. දෙවියන් කෙරෙහි ආගම කෙරෙහි තියෙන විශ්වාසය. “
“ඒ නිසා ඔබ විශ්වාස කරනවනම් ජනාධිපතිතුමනි බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දික් කරලා ඔබේ දේශපාලනය උතුරේ ගොඩනගා ගන්න උතුරේ දමිළ ජනතාව ඒකට සූදානම් නෑ. ඔවුන් සංස්කෘතිය විශ්වාස කරනවා. අපිත් සංස්කෘතිය විශ්වාස කරනවා. “
“ඒ වගේම තමයි අමතක කරන්න එපා අද ලෝකේ බොහෝ රටවල ආගමික අර්බුද තියනවා. මහා බ්‍රිතාන්‍ය ගත්තත් එහෙමයි. ඇමරිකාවේ ගත්තත් එහෙමයි. අද අපේ රටේ ආගමික ප්‍රශ්නයක් නැහැ. ආගම් අතර මරාගෙන ඇනකොටා ගන්නේ නැහැ . ඇයි ඒ. අපේ හාමුදුරුවනේ… බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගිච්ච සමාජයේ අනෙක් සියළු ආගම් රැකෙනවා.”
“සියළු ආගම් රැකිලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය මත මේ මාතෘභූමිය ගොඩනැගිච්ච නිසා. නිර්මල බුදුදහමේ ඉගැන්වීම මත ගොඩනැගිච්ච මේ රටේ ජන සමාජය හැම ආගමකටම හැම සංස්කෘතියකටම ගරු කරනවා. ඒ නිසා දකුණේ ජනතාව යාපනේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවිහාමුදුරුවෝ වැදපුදාගන්න එන්න එකටවත් ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා. ඒක අපේ විශ්වාසය සහ බැඳීම.”
“මම එකකට සතුටු වෙනවා… මගේ තාත්තා සහ රණවිරුවන් කළ ඒ කැප කිරීම මත ලබපු නිදහස අනුර කුමාර ජනාධිපතිතුමා යාපනයේ උපරිමයෙන් භුක්ති විදීම පිලිබඳව… මම හදවතින්ම සතුටු වෙනවා. ඔබත් සතුටු වෙන්න. මොකද අපේ දේශපාලනය තුළ වෛරය නැහැ. අපිට අවශ්‍යයි මේ රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක්. අපිට ඕන මේ රට දියුණු වෙනවා දකින්න… ආපස්සට ඇදගෙන යන දේශපාලන සංස්කෘතියක් නෙමෙයි. වෛරය කරන්න එපා කියමින් වෛරය පතුරුවන්න එපා කියමින් ඔබ මේ රටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න උත්සාහ කරනවා.” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේය.







