2026 වර්ෂයේ දී 01 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබාදුන් පරිදිම 2026 ජනවාරි 29 දින ආරම්භ කරන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව දැනුම් දෙයි.
2026 ජනවාරි 21 වැනිදා සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම විශේෂ නිවේදනයේ සඳහන් වන අතර මේ සම්බන්ධයෙන්වන චක්‍රලේඛය ඉක්මනින්ම නිකුත් කරන බව ද ලේකම්වරයා ප්‍රකාශ කරයි.
- 6 ශ්‍රේණිය සඳහා හඳුන්වාදීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දැමීම,
- 2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා, දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව අටක් (08) ලෙස සංශෝධනය කිරීම, එක් කාලච්ඡේදයක් විනාඩි 40ක් වීම ඒ අනුව, පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයටම කාලසටහන් සකස් කිරීම
- 6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවලදී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2026 වර්ෂය සඳහා ද ක්‍රියාත්මක කිරීම,
- 6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන්ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීම,
- පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර, ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදාහැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කිරීම මෙම නිවේදනයෙන් දන්වා සිටී.
අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත යුතු බව, 2026 වසරේදී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළපොත් සඳහා අදාළ මෘදු පිටපත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘e-තක්සලාව’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරීමට තීරණය කර තිබේ.
නව ප්‍රතිසංස්කරණයන්ට අදාළ මොඩියුල පිළිබඳ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේ දී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, ඒ පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා පිළියෙල කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේ දී සුදුසු පරිදි භාවිත කිරීමට ද නියමිතය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරු පුහුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිපාලන සංශෝධන හා තක්සේරු ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ පුළුල් මහජන දැනුම්වත් කිරීම් ප්‍රවේශ 2026 වසරේදී අඛණ්ඩව ක්‍රියාවට නැංවේ.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව, විෂයමාලා රාමුව සහ සියලු මොඩියුල, විවෘත හා පුළුල් මහජන සංවාදයක් සඳහා මහජනතාව වෙත විවෘත කරන බව ද මෙම නිවේදනයේ සඳහන් වේ.







