ශ්‍රියානි විජේසිංහ –
මාළිගාවත්ත වකුගඩු රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විකිරණ පරික්ෂණයන් සඳහා පිටස්තර පුද්ගලයින් යොදවා ගැනීම වහාම නතර නොකළහොත් මාළිගාවත්ත වකුගඩු රෝහල සහ කොළඹ ජාතික රෝහල තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.
අධ්යක්ෂවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
එක් රෝගියෙකුගේ විකිරණ ඡායාපටලයක් ගැනීමට ඡායාපටල කීපයක් භාවිත කරමින් රෝහලට විශාල අලාභයන් සිදුකරන අතරම ඔවුන් ගන්නා ඇතැම් විකිරණ ඡායාපත් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බව පෙනී ගොස් ඇතැයි ද චානක ධර්මවික්‍රම පවසා සිටියි.
රෝහලේ සේවය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විකිරණ ශිල්පීන් දෙදෙනෙකු අනුයුක්ත කර ඇති පසුබිමක නියෝජ්‍ය අධ්යක්ෂවරයා මෙලෙස පිටස්තර පුද්ගලයන් ලවා රෝහලේ විකිරණ පරික්ෂණයන් කර ගැනීම රෝගීන්ගේ ජිවිත දැඩි අනතුරකට පත්කිරිමක් යැයිද හෙතෙම පෙන්වාදේ.
රෝහල තුළ ස්ථීර වශයෙන් රාජකාරියේ නියුතු තාක්ෂණ නිලධාරීන්ව සවස 4.00න් පසුව රඳවා ගෙන රෝගීන්ට අවශ්‍ය පරික්ෂණයන් සිදු කර නොගෙන ඒ වෙනුවට පෞද්ගලික අංශයේ රාජකාරි කරන විකිරණ ශිල්පීන්ව ගෙන්වා රෝගීන්ගේ පරික්ෂණයන් සිදුකිරීමට නියෝජ්‍ය අධ්යක්ෂවරයා දිගින් දිගටම කටයුතු කරමින් පවතින බව ඔහු අනාවරණය කරයි.
රෝහලේ ගිලන් රථය මගින් මොවුන්ව රෝහලට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතරම මොවුන්ට අදාල ගෙවීම් පවා රෝහල මගින් සිදුකරන බව හෙතෙම පෙන්වාදේ.
මෙම අනීතික කටයුතුවලට අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයා බලන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කීප වරක් දැනුම් දුන්නද මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සභාපතිවරයා පවසා සිටියි.







