ලලිත් චාමින්ද –
ගාල්ල නගරයට ඊයේ (20) පස්වරුවේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල නගරයේ ප්‍රධාන මාර්ග රැසක් වැසි ජලයෙන් යටවීම නිසා නගරවැසියන් මෙන්ම මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට ලක්වුහ.

ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල මහාවීදිය, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ පළතුරු වෙළදසැල ඉදිරිපිට, ගාල්ල වක්වැල්ල මාර්ගයේ පොලිසිය ඉදිරිපිට, ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ දංගෙදර, සරෙන්තුකඩේ හන්දිය, තලාපිටිය, තනිපොල්ගහ, බෙලිගහ ඇතුළු මාර්ග රැසක් මෙන්ම සංචාරක ගාලු කොටුවේද මාර්ග කීහිපයක් ජලයෙන් යට වී තිබුණි.
ජලය බැසයාම සදහා ඇති කාණු පද්ධති අවහිරවීම, අක්‍රමවත් කාණු පද්ධති, අනවසර ඉදිකිරිම්, ආදි හේතුන් නිසා වැසි ජලය බැසයාමට නොහැකිවිමෙන් සුළු වර්ෂාවකට පවා ගාල්ල නගරයේ ඇතැම් මාර්ග ජලයෙන් යටවන බව නගරවැසියෝ පවසති.

ගාල්ල නගර ආශ්‍රිතව වැසි ජලය බැහැර නොවීමේ ව ගැටපුව සඳහා ලබා දිය යුතු විසඳුම් පිළිබඳව මෙම වර්ෂයේ ජුනි මස පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දී සාකච්ඡාවට ලක්විය. ගාල්ල නගරය ආශ්‍රිතව වර්ෂා ජලය බැහැවීමේ ගැටලු පවතින ස්ථාන 14ක් හඳුනාගෙන ඇති බැව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. හඳුනාගත් ස්ථානවල කාණු පිරිසිදු කිරිම හා අවහිරතාවයන් වැලැක්විමට අදාළ කටයුතු සියයට අසුවක් අවසන්කොට ඇති බවත් බෝක්කු කටවල් මුහුදට සම්බන්ධවන ස්ථාන වල වැලි බාධක යෙදීමට රුපියල් මිලියන 5.8ක ඇස්තමේන්තුවක් සකස්කර ගාල්ල මහනගර සභාවට ලබා දී ඇති බවත් සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දි අනාවරණය විය.
කෙසේවුවද ගාල්ල නගරයේ ගංවතුර පාලනයට මේ වනතෙක් විසඳුමක් ලබාදීමට බලධාරින්ට නොහැකිවි තිබුණි. පසුගිය පාලන කාලයේ දී උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසහන යටතේ ගාල්ල නගරයේ ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 21.49ක මුදලක් ගෙවා තිබු නමුත් මෙම ව්‍යාපෘතිය අතරමග නතරකිරීම හේතුවෙන් ව්‍යාපෘතියේ අරමුණ ඉටුකර ගැනීමට නොහැකිවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් ද අනාවරණය වී තිබුණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල නගරයේ ගංවතුර පාලනය සඳහා තත්ත්වය හඳුනාගත් ගංවතුර පාලන කාණු පද්ධති 16ක් ඉදිකිරිමට අවශ්‍ය ඉඩම් පවරා නොගැනිම නිසා ඉදිකිරිම් කටයුතු කළ නොහැකිවි තිබුණි.
එමෙන්ම ගාල්ල මොරගොඩ ප්‍රධාන ඇළ සහ පන්සල් අතුරු මාර්ගය ඉදිකිරිමේ ව්‍යාපෘතියේ මුල් කොන්ත්‍රාත් වියදම රුපියල් මිලියන 845කි. ඇල මාර්ගයේ මුලු දිග මිටර් 4250කි. එහෙත් ඇල මාර්ගයෙන් නිමකොට තිබුණේ මිටර් 1850කි. ඒ සඳහා රුපියල් මිලියන 397ක මුදලක් වැයකොට තිබුණි. මේ හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ සම්පුර්ණ ප්රතිලාභ ජනතාවට අත්කරගැනිමට නොහැකි වූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබදව ගාල්ල මහනගරාධිපති සුනිල් ගමගේ ගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.
“ ගාල්ල නගරයේ ඇතැම් ගොඩනැගිලි ඉදිකරලා තියෙන්නේ කාණු පද්ධති මත. පසුගිය කාලයෙ කාණු පද්ධති අවහිරකරමින් අනවසර ඉදිකිරිම් කරලා තියෙනවා. ඇතැම් කාණු පද්ධති නගර සභාවේ සේවකයින්ට ශුද්ධ කරන්න බැහැ. කොන්ක්‍රිට් දමලා කාණු පද්ධති වසා දමලා. ඇතැම් පදික වෙළදුන් සියලු අපද්‍රව්‍ය කාණු පද්ධතිවලට මුදාහරිනවා. “
“ඉදිරියේ දි සියලුම අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිමට කටයුතු කරණවා. ගාල්ල නගරයේ සමස්ත කාණු පද්ධතියම එකම සැලැස්මකට අනුව නැවත සකස් කළ යුතුයි. පළතුරු වෙළඳසැල ඇති තැන මුහුදට සම්බන්ධවන බෝක්කු කටවල් වැලි පිරිලා තිබුණේ… එම වැලි ඉවත් කිරිමට කටයුතු කළා. නමුත් වාරකන් කාලය නිසා නැවත එම බොක්කු කටවල් වැලිවලින් අවහිරවෙලා තියෙනවා. පැය දෙකක් ඇතුළත ජලය බැස ගියා.” යැයිද නගරාධිපතිවරයා සඳහන් කළේය.







