මනම්පිටිය නිමල් ජයරත්න –
දායකකාරකාදීන් තමන්ට ලබාදුන් අටපිරිකර, සෙසුපිරිකර, අලෙවි කරමින් ඉන් ලබාගත් සුළු මුදලකින් ගංවතුරින් අවතැන් වු හා අයහපත් කාලගුණ තත්ත්වයෙන් කුලී රැකියාවන් අහිමි වූ අය සොයා ගොස් ඔවුන්ට වියළි ආහාර පාර්සල් ලබාදීමට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හෙනානිගල චුල්ලපන්තකාලංකාර නාහිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිපදෙනෙකු අද (21) කටයුතු කළහ.
මනම්පිටිය ප්‍රදේශයේ අසරණ දුගී පවුල් කීපයක් තෝරා ඔවුන්ට සතියකට අවශ්‍ය වියළි ආහාර ලබාදීමට කටයුතු කළ චුල්ලපන්තකාලංකාර නාහිමියන් සඳහන් කළේ, ගංවතුර සහ ආපදා තත්ත්වය හේතුවෙන් මනම්පිටිය ඇතුළු අවට ප්‍රදේශවල වේවැල්, ගඩොල්, වැලි, කර්මාන්තයෙන් දිවි ගෙවන පවුල්වල රැකියා අහිමි වී ඇති බවය.
ඔවුන්ට අවශ්‍ය පමණ ආධාර නොලැබීම නිසා තමන් වහන්සේට ලැබෙන අටපිරිකර සෙසු පිරිකර විකුණා මෙම අසරණ දුගී අයට පිහිටුවීමට කටයුතු කළ බව උන්වහන්සේ කීහ.
දිඹුලාගල, මනම්පිටිය, සොරිවිල, නවමිල්ලාන, කුඩාවැව, මාගංතොට, ඇතුළු අවට ගම්මානවල බොහෝ දෙනා ජීවත්වෙන්නේ කුලියට වේවැල් කැපීම, වැලිගොඩ දැමීම, සහ ගඩොල් කැපීමෙනි.
, එම සියලු කුලී රැකියාවන් පසුගිය ආපදා තත්ත්වයට ඇනහිට තිබෙන නිසා, ඔවුන්ට ජීවත් වීමේ මාර්ග ඇහිරී ඇති බැවින් මෙම පිරිසට යම් ආධාරයක් උපකාරයක් කිරීමට හැකි නම් මේ මොහොතේ සිදුකළ හැකි උතුම්ම සහයෝගය හා ආධාරය එය බව චුල්ලපන්තකාලංකාර නා හිමි වැඩිදුරටත් කීහ.







