ශ්රියානි විජේසිංහ
අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබා දීමට පොලිස් මූලස්ථානය තිරණය කර තිබේ.
දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ මෙම තිරණය ගෙන තිබේ.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025.11.25 වන දින සිට 2025.12.25 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්ර අලුත් කර ගැනීම සඳහා විශේෂ සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එම කාල වකවානුව තුළ කල් ඉකුත්වූ රියදුරු බලපත්ර ලඟ තබා ගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් විසින් දැනුම් දී ඇති බවද පොලිසිය පවසයි.
ඒ අනුව, ඉහත සඳහන් සහන කාලය තුළදී කල් ඉකුත් වන රියදුරු බලපත්රයක් ලඟ තබා ගනිමින් රිය පැදවීම සම්බන්ධව නීතිය ක්රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ක්රියා කරන ලෙස පොලිස්පතිතුමා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබේ.







