ශ්‍රියානි විජේසිංහ
රටතුල ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය සලකා බලා හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ගෙවීගිය දිනයන් දෙක තුල සහ ඉදිරියට මුහුණ දෙන දින කීපය රටක් ලෙස අපි මුහුණ දෙන දරුණුතම දින කීපය විය හැකි බැවින් අවශ්‍ය කණ් ඩායම් ඒකරාශී කර ගනිමින් අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙන බැවින් මෙම ඉල්ලීම කල බව සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.
ත්‍රිවිධ හමුදාව පොලිසිය , සෞඛ්‍ය අංශ, පරිපාලන කොට්ඨාශයන්, ආපදා කළමණාකරන සේවාවන්, සිවිල් ආරක්ෂක බලකායන්, බලාත්මක කරමින් ඔවුන්ට වේගයෙන් ක්‍රියාත්මක විමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිමට ඉඩ ලබා දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරණක් බව හෙතෙම පෙන්වාදේ.
සියලුම දිස්ත්‍රික්කයන්, සියලුම පළාත් සියලුම ග්‍රාම සේවා කොට්ඨාශයන් එකදිගට ආපදාවන්ට ලක්ව ඇති බැවින් ජනතාවට වැදගත් වන්නේ ප්‍රාදේශීය මට්ටමින් ගන්නා තීන්දු තීරණයන් මිස රාජ්‍ය මට්ටමින් ගන්නා තීන්දු තීරණයන් නොවන බව සංගමයේ විශ්වාසය බව මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදේ.
දැනට පුරෝකථනය කර තිබෙන ජිවිත හා දේපල හානිවලට වඩා වැඩි හානි ප්‍රමාණයක් රටතුල සිදුව ඇති බවට තම සංගමයේ විශ්වාසය බවත් සන්නිවේදන පද්ධතිය බොහෝ සේ බිඳවැටීම හේතුවෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට නොහැකි තත්තවයක් උදාවී ඇති බවද හෙතෙම පෙන්වාදේ.
කෙසේ නමුත් කොන්දේසී විරහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආපදාව අවස්ථාවන් වලදී තම සේවා සැපයීමට ඉදිරිපත් වන අන්දමටත් වඩා වැඩි ධාරිතාවයකින් මෙම අපාදා අවස්ථාවේදී කටයුතු කරන බවද වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.







