වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලදැයි කියන ආරාධනා ලිපියේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති බවත්, එම සංචාරය නීතිපතිවරයාගේ දැනුම්දීමකින් හෝ උපදෙස් නොමැතිව සිදු කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබේ.
සන්ඩේ ටයිම්ස් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමේ එක්සත් රාජධානි සංචාරය සම්බන්ධයෙන් නීතිපති පාරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මට්ටම්වල සිටින කිසිම නිලධාරියෙක් නොදන්නා බවත් විමර්ශනය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංචාරයට පෙර නීතිපතිවරයාගෙන් කිසිදු උපදෙස් ඉල්ලා නොමැති බවත්ය.
නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් නොදී මෙම කණ්ඩායම ස්වාධීනව යැවීමට රහස් පොලිසිය තීරණය කර ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් වී ඇති බවත්, මෙම සතිය මුලදී දින පහක සංචාරයක් සඳහා මෙම කණ්ඩායම එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති බවත් එම වාර්තාව හෙළි කරයි.
කෙසේ වෙතත් තවමත් එක්සත් රාජධානියේ සිටින, එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේනගෙන් හෙට (16) CID කණ්ඩායම ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බව සන්ඩේ ටයිම්ස් කියයි. සාරෝජා සිරිසේනට ප්‍රකාශයක් ලබා දීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
2023 සැප්තැම්බර් මාසයේදී එවකට ජනාධිපති ධුරය දැරූ වික්‍රමසිංහගේ බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය ධුරයක් පිරිනමන ලද වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට වික්‍රමසිංහ යුවල එංගලන්තයට පැමිණි අවස්ථාවේ සරෝජා සිරිසේන එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය වූවාය.
මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් බවත් ඒ හේතුවෙන් රුපියල් මිලියන 16.6 ක් මහජන මුදල් අවභාවිත කිරීම සිදුවී ඇති බවත් දක්වමින් පොලිසිය රනිල් වික්‍රමසිංහට එරෙහි නඩු පවරා තිබිණි. මේ සම්බන්ධයෙන් ඔහු මේ වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට පෙර කෙටි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.







