අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 345ක් සමග කිරින්දේ දී අත් අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කිරින්ද වෙරළේ කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබිණි.
මත්ද්‍රව්‍ය තොගය සමග හය දෙනෙක් අත් අඩංගුවට ගත් අතර මත්ද්‍රව්‍ය තොගය රට තුළට රැගෙන ඒමට මුල් වූ මහ මොළකරු ද පසුව අත් අඩංගුවට ගැනුණි.
මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බවට සැකකරන චරිත් සඳකැළුම් නොහොත් රන් මල්ලී නැමැති අපරාධකරු මේ වනවිට රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක නොහොත් හරක්කාටගේ ගෝලයෙක් බව විමර්ශන අංශ පවසයි.
හරක්කටාගේ මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් රට තුළට එවා ජාවාරම් කරනු ලබන්නේ රන්මල්ලි නැමැති මෙම අපරාධකරු බව ද අනාවරණය වී තිබේ.
පසුගිය මාර්තු 26 වැනිදාත් රන් මල්ලී නැමැත්තාට අයත් කෝටි 46ක හෙරොයින් සමග දික්වැල්ලේ දී සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් සම්බන්ධව ඉදිරි විමර්ශන කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිතය.







