දිල්ලියේ බිහිසුණු බෝම්බ පිපිරීමක් වාර්තා විය.
පුපුරණ ද්‍රව්‍ය සහිත කාර් රථයක් දිල්ලියේ වඩාත් සංචාරක ආකර්ශනයක් දිනාගත් 17 වැනි සියවසට අයත් රතු චතුරශ්‍රය අසල මෙට්‍රෝ දුම්රියපල අසල මාර්ග සංඥා එළියකට නැවැත්වූ ගමන් කරමින් තිබූ වාහනයක් මෙසේ පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පිපිරීමෙන් දැනට පුද්ගලයින් 08 දෙනෙක් මිය ගොස් ඇත. 20කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. වාහන කීපයක් විනාශ වී ගොස්ය.
දිල්ලි පොලිස් කොමසාරිස් සතිෂ් ගොල්චා පැවසුවේ දේශීය වේලාවෙන් සවස 6:52 ට රතු චතුරශුයෙන් පිටත පිටත මාර්ග සංඥා එළියක් අසල නැවැත්වූ වාහනයක් පුපුරා ගිය බවය.

මේ වනවිට මුලු ඉන්දියාවම සීරුවෙනි. දිල්ලියේ දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීමේ මෙහෙයුමක නිරත වූහ. ගින්න රාත්‍රි 7.29 වනවිට පාලනය කළ බව ඉන්දීය බලධාරීහු කීහ. මේ වනවිට පොලිසිය මුළු ප්‍රදේශයම වටලා තිබේ.
ජාතික විමර්ශන ඒජන්සියේ (NIA) කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සියුම් ලෙස විමර්ශන කටයුතු අරඹා ඇත.
දිල්ලි නගර පොලිසියේ ප්‍රකාශක සංජේ ත්‍යාගි බීබීසීයට පවසා ඇත්තේ පිපිරීම සිදුවී ඇත්තේ හුන්ඩායි i20 මෝටර් රථයක බවයි. වාහනය තුළ තවත් පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති බව බීබීසී වාර්තාවේ දැක්වේ.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි “තම ආදරණීයයන් අහිමි වූවන්ට” සිය ශෝකය පළ කර තිබේ. ඔහු සිය ජනතාවට දැනුම් දෙන්නේ තත්වය සමාලෝචනය කරමින් සිටින බවය.
පිපිරීමට හේතුව කුමක්දැයි තවමත් සොයාගෙන නොමැති බව පොලිසිය පවසයි
දිල්ලි පිපිරීම සම්බන්ධයෙන් මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන්නේ සියලු කෝණ විවෘතව තබා ගනිමින් ගැඹුරු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.
පිපිරීම වාර්තා වූ වහාම, දිල්ලි පොලිසියේ විශේෂ කොට්ඨාශය, අපරාධ අංශය, ජාතික විමර්ශන ඒජන්සිය, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂාව සපයන විශේෂ ආරක්ෂක කණ්ඩායම සහ ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥ කණ්ඩායම එම ස්ථානයට පැමිණ සියලු පරීක්ෂණ කඩිනමින් සිදු කරන බව ස්වදේශ කටයුතු ඇමතිවරයා පවසයි.
ඉතාම කෙටි කාලයක දී පිපිරීමට හේතුව පිළිබඳව මෙම විශේෂඥ වෘත්තීය කණ්ඩායම් නිගමනයකට එළඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව ස්වදේශ කටයුතු ඇමතිවරයා කියයි.







