කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (10) දින නියම කළේ ය.
නඩුව අද කැඳවූ අවස්ථාවේ කුරුඳු වත්ත පොලීසියේ මෙහෙයවීමෙන් පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළේ ය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 19 සිදු කිරීමට දින නියම කරන ලදි.
2016 පෙබරවාරි 6 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලීසිය මගින් පවරා තිබේ.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ පෙනී සිටියේ ය. ( News1st)







