හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් හා හිටපු ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම සහ සනත් නිශාන්ත භාවිත කරන ලද නිල නිවාසවල මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මත රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන මෙම නිවාස 4 අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතට පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව දිලුම් අමුණුගම භාවිත කරන ලද ග්‍රෙගරි පාරේ, අංක B 88 ලිපිනය සහිත නිවෙස, සනත් නිශාන්ත භාවිත කරන ලද බෞද්ධාලෝක මාවතේ අංක C76 දරන නිවෙස, කෙහෙළිය රඹුක්වැල්ල භාවිත කරන ලද විජේරාම මාවතේ අංක B 108 දරන නිවෙස හා ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි අංක B 12 නිවෙස මෙසේ මහාධිකරණ පිහිටුවීම සඳහා ලබාදීමට නියමිතය.
ඒ අනුව කඩිනමින් මේ ගොඩනැඟිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට භාරදීමට සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච් අබයරත්න මහතා විසින් ඇමැති මණ්ඩලය දැනුම්වත් කර තිබේ.







