ජානක ලියනආරච්චි –
ගමේ කසිප්පු කාරයෙක් ගෙදරට ගොස් කුදලාගෙන එන්නා සේ වෙනත් රටක සිටිනා පාතාල අපරාධ කරුවෙක් රැගෙන එන්නට නොහැකි බව පොලිසියේ නිලධාරීන් පමණක් නොව මේ රටේ යම් අවබෝධයක් ඇති සාමාන්‍ය මිනිස්සුත් දනිති. පසුගිය වකවානුව පුරාම පිට රට සිට දිවයිනට ගෙනා සියලුම අපරාධකරුවන් රැගෙන ඒම පසුපස දැවැන්ත නෛතික මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් තිබේ.
ලංකාවට රැගෙන ආවාට පසු කුමක් සිදුවුව ද පසුගිය රජයන් කාලයේ දී ද ඒ තීව්ර මෙහෙයුම් දියත් විය. ගම්පහ ඔස්මන් ජපානයේ සිට ලංකාවට රැගෙන ඒම, වෙලේ සුදා සහ මොහොමඩ් සිද්දීක් ගෙන්වීම, මධුෂ් ඇතුළු පාතාලයන් ගෙන්වා ගැනීම, හරක්කටා සහ කුඩු සළිඳු ගෙන්වීම, පද්මේ ඇතුළු කණ්ඩායම රැගෙන ඒම මෙන්ම ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම ලංකාවට ගෙන්වා ගැනීම දක්වා වූ සිදුවූ සෑම මෙහෙයුමක්ම නොපෙනන දක්ෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව දියත් කළ දීර්ඝ කාලීන අන්තර්ජාතික සම්බන්ධීකරණ මෙහෙයුම්වල සහ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවල රටට පෙනුනු කෑල්ලය.
දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා ලංකාවෙන් නිලධාරින් කීප දෙනෙක් යවන්නේය. ඒ යවන නිලධාරීන් බොහෝ විට මාධ්‍යයට නිරාවරණය වෙන්නේය. අවසානයේ ඔවුන්ගෙන් ඇතැමෙක් තනි අලින් සේ පෙන්වමින් සමාජ මාධ්‍ය හරහා උස්සන අමුතු වැඩක් ද රටට පේන්නේය. අවසානයේ ඒ මෙහෙයුම් “අහවලාගේ වැඩක්” ලෙස නම් කෙරෙන මට්ටමට ලඝු වන්නේය
එසේ අහවලාගේ මෙහෙයුම් නිරුවත් වුන අවස්ථා දෙකක්ද පිට පිටම සිද්ධ වුනේය. තමන්ගේ නමින් මෙහෙයුමක බර ලියා ගන්නට අපේ ඇත්තෙක් කළ ලාබ උත්සාහයක කෙළවර ඉන්දුනීසියාවේ දී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම අත් අඩංගුවට ගත් ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දුනීසියානු ආරක්ෂක අංශවලට නිකුත් කරන්නට සිදුවිය.
මෙහෙයුම ගැන අපට කී කතාව මෙසේය. අපේ නිර්භීත කොල්ලන් ඉන්දුනීසිවේ දී වෙස්වලාගෙන පාරවල්වල ඇවිදින්නේය. පද්මේලා සිටි ලොකේෂන් එක වටේ නොකා නොබී සැරිසරන්නේය. අන්තිමට පද්මේ දුටු ගමන් ඉන්දුනීසියානු පොලිසියට කෝල් කර ගෙන්වා ගෙන කස්ටිය ඇරස්ට් කරගන්නේය. පද්මේ පසුව සර්ව හඳුනා ගන්නේය. ” සර් එයි කියලා මම හිතුවා…” පද්මේ කියන්නේය. ඒත් ඒ ලස්සන කතාව කුඩු පට්ටම් වන්නේ ඉන්දුනීසියානු ආරක්ෂක අංශ මෙහෙයුමේ වීඩියෝ එළියට දැම්ම පසුය. මේ කී සර්ලා මෙහෙයුමට සම්බන්ධ වන්නේ ඔවුන් රැඳී සිටි ස්ථානයට අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන රැගෙන ආ පසු අපරාධකරුවන් හඳුනා ගැනීමටය. සර්ලාට උන් බාර දෙන්නේත් නැත. පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවෙන් ලංකාවට එන්නේය. අපරාධකරුවන් රජයට බාර දෙන්නේ ඔවුන්ය.
නේපාලයේ දී සෙව්වන්දි අත් අඩංගුවට ගත්තේය. ඒ අත් අඩංගුවට ගත් අපරාධකරුවන් රැගෙන එන්නට අපේ නිලධාරියෙක් ගියේය. මාර වැඩේය. නිලධාරියා සෙව්වන්දිගේ නිවස සොයාගෙන ගිය බවත් සෙව්වන්දි “සර් එයි කියලා හිතුවා…” කියා කියූ බවක් අපේ මාධ්‍යවල පලවුනේය. සර් එනතුරු අත් අඩංගුවට පත් වෙන්නට සෙව්වන්දි මේකප් කරගෙන නිවසේ බලාගෙන සිටියේ දැයි හිතුනේ අත් අඩංගුවට පත්වන අවස්ථාවේ ඇයගේ රූප රාමු දකින විටය. ගෙදරට ගිය සර් කෙනෙක් නැති බවත්, නේපාල ආරක්ෂක අංශ ශ්‍රි ලංකාවේ බුද්ධි අංශ සහ ඉන්දියානු බුද්ධි අංශ එක්ව දියත් කළ සූක්ෂම මෙහෙයුමකින් අනතුරුව සෙව්වන්දි නිවසින් එලියට ගෙන අත් අඩංගුවට ගත් ආකාරය සහ නේපාල පොලිසියේ කාර්ය කොටසත් නේපාලයේ දේශීය මාධ්‍යවල වාර්තා වුනේය. කරුමෙකට මෙන් ඒවා අපටත් කියවන්නට ලැබුනේය.
දැන් අපට කියන්නට තියන සාධාරණ ඇත්ත මෙයය. රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්, අන්තර්ජාතික නීති රාමුව තුළ සිදුවන මෙහෙයුම් ලෝකය ඉදිරියේ හෑල්ලු නොකර දෙයියන්ගේ නාමයෙන් මෙහෙයුමකට පසු ගොබ්බ ටෝක් හරහා “තනි අලින්” නිර්මාණය කිරීමේ මෝඩ චූන් දීම පොලිසිය විසින්ම වැලැක්විය යුතු බවය. රාජ්‍ය තාන්ත්‍රික අවබෝධය හරහා සිදුවන මෙහෙයුමකදී නිසි ගෞරවය අදාල මෙහෙයුම් කණ්ඩායම්වලට නොලැබීම ඉදිරියේ දී රටට අයහපත් ලෙස බලපෑමේ අවදානමක් ද ඇති විය හැකි බවය.
මේ ආකාරයේ මෝඩ චූන් ගෙන ප්රමෝදයට පත් වු පොලිස් නිලධාරීන් කරන බරපතල ගොංකම් ගැන ද වාර්තා වන්නේ පොලිසියේ අවධානය ඒ ගැන බරපතල ලෙස යොමු විය යුතු බව අඟවමිනි. තත්ත්වයන් වහාම පාලිත තත්ත්වයකට ගන්නට අපොහොසත් වුවහොත් වැඩේ කොතැනින් කෙළවර වේ දැයි සිතා ගත නොහැකි බව අපට සිතෙන්නේය.
සෙව්වන්දි රටට ගෙන්වා ගත් නේපාල මෙහෙයුමට දින කීපයකට පෙර ඉතාම රහසිත මෙහෙයුමක් සඳහා අපේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බැංකොක් ගිය බව වාර්තා වුනේය. දැනගන්නට ඇති පරිදි පුද්ගලික තොරතුරක් මත පාතාල අපරාධකාරයෙක් අත් අඩංගුවට ගැනීම මේ බැංකොක් ගමනේ නිමිත්තය. ඉතාම රහසිගත බැවින් මෙහෙයුමේ කිසිම තොරතුරක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව මෙහෙයුම් නිලධාරීන් කී බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිශ්චිත දැනුම්වත්වීමක සිටියේ නැති බවත් වාර්තා වන්නේය.
මේ වනවිට හුවමාරුවන ආරංචිවලට අනුව බැංකොක් හි සැරිසරන බව කියන අපරාධකරුවන් කීප දෙනෙකි. ඉන් ප්‍රධාන චරිතය මතුගම ශාන්ය.
පොලිස් කණ්ඩායම දවස් කීපයක් බැංකොක් ගත කර හිස් අතින් එන්නේය. අත් අඩංගුවට ගත් අපරාධකාරයෙක් නැත. එසේ අත් අඩංගුවට ගන්නටත් පුලුවන්කමක් නැත. ගමේ කසිප්පු කාරයෙක් අල්ලනවා සේ පිටරටක ඉන්න අපරාධකරුවෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකි බව මේ පොලිස් කණ්ඩායමට කියා දෙන්නට පොලිසියේ එකෙක් නොසිටිය හේතුව ගැන අපට කල්පනා වෙන්නේය. මේ ආතල් දීම පොලිසිය විසින් නැවැත්විය යුතු බවට වූ යෝජනාව පමණක් දැන් අපට ඇත්තේය.







