ඉකුත් 18 වැනිදා දෙහිවල දුම්රියපොළ පාර අසල සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෝටර් රථයක සිටි බඩෝවිට අසංක නැමැත්තාගේ සමීප ඥාතියකු වන බස් අසිත නැමැත්තාට සිය මෝටර් රථය තුළ සිටියදීම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු රැගෙන පැමිණි පැදිකරු පොලිස් අත් අඩංගුවට පත් වන්නේ තවත් ඝාතනයක් සඳහා සැලසුම් කර සිටියදී බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දෙනෝ දාහක් බලා සිටිය දී දෙහිවල දුම්රිය ස්ථානය අසල උදෑසන 11ට පමණ යතුරුපැදියකින් බැස සිය ඉලක්කය අසලටම පැමිණ වෙඩි තබා පලා ගිය වෙඩික්කරු විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙක් විය. ඔහු කහතුඩුව ප්‍රදේශයේ කුරුඳු වාඩියක් තුළ සිටිය දී විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් එල්ල කළ වෙඩි පහරකින් මිය ගියේය.
සිද්ධියට කුලී ඝාතකයා රැගෙන පැමිණි යතුරුපැදියේ පැදිකරු ඊයේ (04) දිනයේ අත් අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේ දී ඔහු සන්තකයේ තිබී කඩු පහක්, කිනිස්සක් සහ රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පොලිිසය භාරයට ගෙන තිබිණි. ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ බඩෝවිට අසංකගේ සමීපතමයෙකු වන බොරලැස්ගමුවේ දිනුක නමැත්තෙකු ආයුධවලින් කපා ඝාතනය කිරීම සඳහා කොස් මල්ලි විසින් ඔහු වෙත මෙම ආයුධ සපයා ඇති බවය.
මෙම පැදිකරු අත් අඩංගුවට පත් නොවුනේ නම් මෙම ඝාතනය කිරීමට නියමිතව තිබී ඇත.
එමෙන්ම බස් අසිතට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ලබා දුන් කොන්ත්‍රාත්තුවට අනුව කොස්මල්ලී විසින් මෙම සැකකරුට ලක්ෂ හතක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ. සැකකරු ප්‍රකාශ කර තිබුණේ මුලින් ලක්ෂ තුන හමාරක් සහ අනතුරුව විටින් විට ඉතිරි මුදල කොස්මල්ලී විසින් ඔහුට ලබා දී තිබුණු බවය.
දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුවා සැකකරු පදිංචි නිවස අත්හැර දමා දකුණු පළාතේ විවිධ ස්ථානවල සැඟව සිට යළි තත්ත්වය සමහන්ව ඇතැයි සිතා සිය නිවසට පැමිණ ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු අත් අඩංගුවට ගන්නේ ගල්කිස්ස සීවලි පාර ප්‍රදේශයේ නිවසේදී ය. පැදිකරු ඔහු 34 හැවිරිදි
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන බඩෝවිට අසංක සහ කොස්මල්ලි අතර ඇති වී තිබෙන මිනී මරාගැනීම් නිසා පසුගිය සති කිහිපය තුළ ගල්කිස්ස, බඩෝවිට, කළුබෝවිල, දෙහිවල ආදී ප්‍රදේශ තුළ වෙඩි තැබීම් රාශියක් සිදුවිය. මෙම වෙඩි තැබීම්වලින් දෙපාර්ශ්වයෙන්ම මැරුම් කෑ සංඛ්‍යාව 9කි. මෙම වෙඩි තැබීම් මෙහෙයවන බඩෝවිට අසංක මෙන්ම කොස්මල්ලිද මේ වන විට සිටින්නේ විදෙස්ගතවය.
ගල්කිස්ස බඩෝවිට අදියර කිහිපයක බඩෝවිට අසංක සිය මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කර ඇති අතර දෙහිවල ඕබන් පෙදෙස සහ දෙහිවල වෙරළ තීරය අවට කොස්මල්ලි සිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරයි. කෙසේ වෙතත් අසංකගේ පාර්ශ්වය කොස්මල්ලිගේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත ප්‍රදේශවල සිය ගෝලබාලයන් යොදවා ඔහුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට කටයුතු කිරීමත් සමඟ මෙම ගැටුම ඇතිව ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.







