ශ්‍රියානි විජේසිංහ –
ස්වාභාවික දේශීය ඖෂධ කීපයක් උපයෝගි කර ගනිමින් මීට වසර තුනකට පෙර සිදුකළ පර්යේෂණයකින් නිපද වූ පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ තවදුරටත් වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර වෙළඳපල වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණවේදී ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමකෝන් සඳහන් කරයි.
මෙරට පිළිකා රෝගීන් මෙය භාවිත කිරීම හේතුවෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගෙන ඇති බවත් කැළණිය විශ්ව විද්‍යාලය මගින් සිදුකල සමීක්ෂණයකදී පාරිභෝගික විශ්වාස සියයට 93ක දිනා ඇති බවත් තහවුරු වු බව මහාචාර්යරයා පවසා සිටියි.
වර්නෝනියා සෙලනිකා (Vernonia zeylanica) නිගෙලා සටීවා (Nirella sativa) හෙමයිඩෙස්මස් ඉන්ඩිකස් (Hemidwsmus Indicus) ලූකාස් සයිලනිකා (Leucas Zeylanica) සහ ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra) යන ශාක වලින් ලබා ගත් ඖෂධ සංයෝගයන් 155ක සම්මිශ්‍රණයකින් මෙම පෝෂක ඖෂධය නිෂ්පාදනය කිරීමට වසර 17ක් පුරා තමා ඇතුලු කණ්ඩායම පර්යේෂණයන් සිදුකළ බවද මහචාර්යා අවධාරණය කරයි.
මෙම රසායනිකයන් මගින් පිළිකා සෛලයන් හී ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වය පාලනය කරමින්, අතුරු ආබාධ නැති කරමින් පිළිකා සෛල විනාශ කරන බව තහවුරු වී ඇතැයිද වාර්තා වී ඇත.
මෙම පර්යේෂණය සඳහා ලංකාවේ බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහයෝගය ලැබීම විශේෂත්වයක් යැයිද හෙතෙම සඳහන් කරයි.
මෙම අලුත් සොයා ගැනීම ලොව පුරා ඉහළ පෙළේ විද්‍යා සඟරාවකට යොමුකර ඇති අතර දැනට එය ෆ්‍රී ප්‍රින්ට් සර්විස් BioRxiv සඟරාවේ පළකර ඇති බව මහාචාර්වරයා පවසා සිටියි.







