ආර්ථිකය බිඳ වැටි බංකොලොත් වුන රටක් යළි පෙර තිබූ තැනට නගා සිටුවීම සඳහා වසර 10ක් ගත වන බව ආර්ථික විද්‍යාඥයින්ගේ පුරෝකථනය වුව ද වසර 04ක් තුළ එම ඉලක්කය සපුරාගැනීමට ලංකාවට හැකි වන බවත්, 2032 දී අත් පත්කරගනු ඇතැයි අපේක්ෂා කළ ඉලක්කය ලබන වසරේ දී අත්පත් කරගැනීමට රටට හැකිවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, 2022 වසරේ දී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට වූ ශ්‍රී ලංකාව, අද එම අර්බුදය වේගයෙන්ම සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.
“ 2022 අප්‍රේල් 12 වනදා එවක ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා අපි ණය ගෙවන්නේ නෑ. බංකොළොත් රාජ්‍යයක් බවට පත්වුණා කියලා. ඒ කාලයේ පාලන බලයට පත්වෙලා හිටිය පාලකයා ලංකාවේ පළමු වතාවට ජනතාව ගිහින් පළවා හැරියා.”
“අපට තිබුණා අභියෝගයන්ගෙන් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම. අනෙක නැවත කිසි දිනක ලංකාවේ එවැනි අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම.”
“බලයට පත් වෙලා අවුරුද්දක් යටකොට අපේ රට ගිලී තිබුණ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගන්න සමත් වුණා. සියලු ජාත්‍යන්තර සංවිධාන, රේටිංග්ස් සමාගම්, ජාත්‍යන්තර මූල්‍ය සමාගම්… මේ සියල්ල ඉදිරිපත්කළ වාර්තා තුළ තියෙන්නේ ශ්‍රී ලංකාව අර්බුදයකදී එය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් ලෙස.”
“ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා මෙලෙස ආර්ථිකයක් කඩා වැටුණහම ඒ රටට අවුරුදු 10ක් යනවා යළි තිබුණු තත්ත්වයට එන්න. 2022 නම් කඩා රට වැටෙන්නේ, ඊට පෙර තිබුණ තත්ත්වය ඇතිවීමට 2032 වෙනවා.”
“හැබැයි අපි හිතනවා කඩාවැටීමට පෙර 2019 තිබුණ ආර්ථිකය අපට ලබන අවුරුද්දේ ලබාගන්න පුළුවන් කියලා” යනුවෙන් පැවසීය.







