ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) අවධාරණය කළේය.
කිසිම සේවක අයිතියක් කප්පාදු නොකර නව ආයතනික ව්‍යුහයක් හඳුන්වා දීමට දරන මේ උත්සාහය වඩා කාර්යක්ෂමව පාරිභෝගික ජනතාවගේ විදුලිය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම බව පැහැදිලි කළ ජනාධිපතිවරයා එය ඉටු කළ හැකිනම් රජයේ මෙන්ම විදුලි සේවකයාගේ ද ජයග්‍රහණය එය බව පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ විදුලිබල ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (22) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.
විදුලිබල ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද කමිටු සාමාජිකයන් සහ විදුලිබල ජනන ලංකා සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීම් ලංකා සමාගම, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඇතුළු අලුතින් ස්ථාපිත කරන ලද සමාගම්හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
විදුලිබල ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් නව පරිවර්තනයක් වෙනුවෙන් නව ආයතන පද්ධතියක් අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පැරණි ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් නොවන බවත්, නව ව්‍යුහයක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.
එහිදී දැනට දරන තනතුරු හෝ වැටුප් තල කිසිදු අයුරකින් පහළ නොයන සහ ඉහළට යාමට තිබු බාධා ඉවත් කෙරෙන අන්දමින් කටයුතු කිරීම, සියලු සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම, නව ආයතන ව්‍යුහය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලෙස තිබූ සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම, නව ආයතන ව්‍යුහයට අන්තර්ග්‍රහණය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ලෙස විසඳිය යුතු ගැටලු විසඳා අවසන් කිරීම, බලශක්ති ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සහ පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමක් බවට පත් කර ගැනීම යන මූලධර්ම ආරක්ෂා කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආයතන තිබෙන්නේ එහි සේවකයන් වෙනුවෙන් නොව රටත්, මහජනතාවත් වෙනුවෙන් බව සියලුදෙනා අවබෝධ කරගත යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක වඩා කාර්යක්ෂමව, අඛණ්ඩව සහ සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවගේ විදුලිබල අවශ්‍යතාව සපුරාලිය හැකි නම් එය රජයේ මෙන්ම සේවකයන්ගේද ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.
කෙසේ වුවද, සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය සෑම අවස්ථාවකම සූදානම් බවත්, ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිදු වන්නේ දීර්ඝකාලීනව පැවති ආයතන ව්‍යුහයක් නව ආයතන ව්‍යුහයකට පරිවර්තනය වීම පමණක් බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
මේ සිදුවන්නේ විකිණීමක්, රාජ්‍ය අයිතිය අත්හැරීමක්, බලශක්ති ස්වාධිපත්‍යය අත්හැරිමක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලෝකයේ සංවර්ධන මාවත මෙය බවද අවධාරණය කළේය.
නව ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මෙම කටයුතුවලදී දක්වන දායකත්වය වෙනුවෙන් කමිටු සාමාජිකයන් වෙත ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළේය.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.







