මනම්පිටිය නිමල් ජයරත්න –
-
පහුගිය සතිය ඇතුළත ගෙවල් විස්සක් බිඳලා…. වී අලෙවි මණ්ඩලයේ වැලි කන්ද වී ගබඩාවත් බඳපු වන අලි වී මළු කාලා…
-
මහා පාරිමාණ වගා ව්‍යාපෘති කරන පුද්ගලයින් අලි මංකඩවල් වසා අලි වැට ගැසූ නිසා අලි ගම්වදින බවට ගොවීන්ගෙන් චෝදනා..
මහවැලි බී කලාපයේ දිඹුලාගල සහ වැලිකන්ද කොට්ඨාසවල ගම්මාන රැසක නිවාසවලට මෙන්ම ගෙවතු වගාවන්ට වන අලින්ගෙන් දැඩි ලෙස හානි සිදුවන බව මහවැලි බි කලාපයේ ගොවි ජනපදිකයෝ සඳහන් කරති.
ලංකාසරට අදහස් දක්වමින් මේ ජනපදිකයෝ ප්‍රකාශ කළේ වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සමාගම් ඔවුන්ගේ වගාවන් රැකගැනීම සඳහා අලි ගමන් කරන මාර්ගයන් හරස් කර විදුලි වැටවල් ඉදිකිරීම වන අලි ගම් වැදීමට ප්‍රධාන කාරණයක් වී ඇති බවය.
මාදුරුඔය සහ සෝමාවතිය ජාතික වනෝද්යානොවලින් ගම් වදින මෙම වන අලි අවට රක්ෂිතවල සැඟව සිට එක්වරම පැමිණ නිවාස බිඳ ආහාරයට තිබෙන වී මිටි ටිකත් විනාශ කර ගෙවතු වගාවන්ට හානි සිදුකරන මට්ටමට පැමිණ ඇතැයි ගම්වැසියෝ ප්‍රකාශ කරති.
ගොවීන් පෙන්වා දෙන්නේ තමන්ගේ ආර්ථිකයට ඇති ප්‍රධානම පදනම අත කණ කර උකස් කර අස්වද්දා අනන්ත දුක් විඳ රැකගෙන අවුරුද්දක් කන්නට නිවසට රැගෙන ආ වී මිටි ටික පමණක් බවය. ඒවා නිවාස තුළ රැක ගන්නට බැරි තරම් මේ ජීවිත්වීමේ පරමාරථය කුමක්දැයි ඔවුහු බලධාරීන්ගෙන් විමසා සිටින්නේ සංවර්ධනයේ අර්ථය මෙය දැයි ප්‍රශ්න කරමිනි.
වියලි කාලගුණක තත්ත්වය නිසා ජාතික වනෝද්‍යානවල ඇතිව තිබෙන ජලය සහ ආහාර හිඟවීම හේතුවෙන් මෙලෙස වන අලි ගම්වැදීම සිදුවන බවද ප්‍රදේශයේ වනජීවී නිලධාරිහු කියති.
ගත වූ සතිය ඇතුළත මහවැලි බි කලාපයේ පමණක් නිවාස විස්සක් පමණ වන අලි විසින් කඩා, ඇති අතර වී අලෙවි මණ්ඩලයට අයත් වැලිකන්ද ප්‍රධාන ගබඩාවද වන අලින් විසින් කඩා ඇති බවත්, මේ පිළිබඳ දැඩි අවධානය යොමු කර හැකිතාක් දුරට ගම්වදින වන අලි පලවා හැරීමට කටයුතු කරන බවත් වනජීවී නිලධාරීහු පවසති.
තවද වී අස්වනු නෙලා අවසන් වීමත් සමඟ මාදුරුඔය හා සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලින් ආහාර සොයා ගම්බිම්වලට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති ආකාරය ය.
එලෙස පැමිණෙන වන අලින් පළවා හැරීමට ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් දියත් කර ඇති බව පිඹුරත්තෑව, වැලිකන්ද, වෙහෙරගල,මනම්පිටිය,මාදුරුඔය වනජීවී නිලධාරිහු ප්‍රකාශ කරති.







