ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කර වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලබා සිටින රණවිරුවන් ඇතුළු සියලුම විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන බහුවිධ වෛද්‍ය සායන වැඩමුළුවෙහි හත්වන අදියර අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හි පදිංචි රණවිරුවන් හා ළඟම ඥාතීන් කේන්ද්‍රකර ගනිමින් මෙම මස 19 වන දින පෙරවරු 08.00 සිට පස්වරු 04.30 දක්වා අම්පාර කොන්ඩුවටුවාන යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි යුද හමුදාව නිවේදනය කරයි.
මෙදින එම රණවිරුවන්ට හා ඔවුන්ගේ ළඟම ඥාතීන් හට මූලික වෛද්‍ය සායන ඇතුළු මනෝ වෛද්‍ය උපදේශන, චර්ම රෝග, අක්ෂි හා දන්ත වෛද්‍ය, භෞත චිකිත්සක හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේම සෘජුකාරක අංගාදේශක සායනවලින් ප්‍රථිකාර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති අතර, ජංගම රසයනාගාර සේවයක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වේ.
වෛද්‍ය සායනයන්ට අමතරව මෙම වැඩමුළුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, රණවිරු සේවා අධිකාරිය හා යුද්ධ හමුදා අධ්යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් පැමිණෙන නියෝජිතයින් විසින් රණවිරුවන් හා ළඟම ඥාතීන් මුහුණපා ඇති ඉඩම්, නිවාස, වැටුප් හා අනෙකුත් පරිපාලන ගැටලු සඳහා අවැසි උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට කටයුතු කරනු ඇත.
ඒ අනුව දුරබැහැර ප්‍රදේශ වල සිටින රණවිරුවන් මුහුණපා ඇති සෞඛ්‍ය හා අනෙකුත් පාලනමය ගැටලු නිරාකරණය කරදීමේ අරමුණින් පවත්වන මෙම වැඩමුළුවට සහභාගී වී තම සෞඛ්‍යය හා අනෙකුත් ගැටලුවලට අදාළ විසඳුම් ලබා ගන්නා ලෙසට අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කයන්හි පදිංචි සියලුම විශ්‍රාමික රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ ලඟම ඥාතින් වෙත දන්වා සිටින බව යුද හමුදාව කියයි.







