හිතන් උන්නේ හොංකොං ගේම් එක ඊසි ගහන්නටය. තව පොඩ්ඩෙන් රෙදි ඉල්ලේය. දෙයියන්ගේ පිහිටෙන් පැතුමා උන්නේය. හොංකොං උනුත් එක පිට එක උඩ ගෙඩි අත හැරියේය. ඒ හින්දා කඩුළු හතරකින් ශ්‍රී ලංකා කණ්ඩායම දිනුම්ය.
15 දා ආසියානු කුසලාන තරගාවලියේ 08 වැනි තරගය අබුඩාබි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ හොංකොං සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතරය. කාසියේ වාසියත් ශ්‍රී ලංකා කණ්ඩායමටය. ඔවුහු පන්දු රැකීම තේරූහ.
එහෙත් හොංකොං පිළෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නට එල්ල වූයේ බලාපොරොත්තු නොවන මට්ටමේ ප්‍රතිරෝධයකි.
දවා ගන්නට හැකි වන්නේ කඩුළු 04ක් පමණි. මුල් කඩුල්ල බිඳී යන්නේ ලකුණු 41ක දීය. යවා තිබුණේ පන්දු ඕවර 4.5කි. ලකුණු 9කට වැඩි දල ලකුණු වේගයක් පළමු කඩුල්ල බිඳී යනවිට හොංකොං කණ්ඩායම පවත්වාගෙන ගොස් තිබිණි.
ශීෂාන් අලි සහ අන්ෂි රත් පළමු කඩුල්ල සඳහා මෙම ස්ථාවර සම්බන්ධතාවය ගොඩනැගූහ. අලි ලකුණු 23කි. ඒ පන්දු 17ක් තුළය. අන්ෂි රත් ලකුණු 48කි. ඒ පන්දු 46ක් තුළය.
වේගවත් පිතිකරණයක යෙදුන හොංකොං කණ්ඩායමේ නිසාකට් ඛාන් පන්දු 38කට ලකුණු 52කි. ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 4කි. ඔහු තරගය අවසන්වන තුරු නොදැවී සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම වයිඩ් පන්දු 4ක් සහ නිපන්දුවක් ඇතුළුව අතිරේක ලකුණු 13ක් හොංකොං කණ්ඩායමට ප්රදානය කර තිබිණි.
කඩුළු 4ක් පමණක් දැවී හොංකොං ක්‍රීඩකයෝ ලකුණු 149ක් ලදහ. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 29ට කඩුළු 2ක්, වනිඳු හසරංග 27ට එක් කඩුල්ලක් සහ දසුන් ශානක ලකුණු 05කට එක් කඩුල්ලක් ලැබුවේය.
ශ්‍රී ලංකා ඉනිම –
පිතිකරණයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට හොංකොං පන්දු යවන්නන් එල්ල කළේ පහසු පීඩනයක් නොවේ. පන්දු 44ක් තුළ පැතුම් ලබා ගත් ලකුණු 68 නොවන්නට ශ්‍රී ලංකා පිලට අබ සරණය. පැතුම්ගේ පිතිකරණයේ දි ලකුණු 40 සිට දැවී යන ලකුණු 68 වන තුරු හොංකොං පන්දු යවන්නෝ පැතුම්ගේ උඩපන්දු 03ක් අත් හළහ. අවසානයේ ඔහු දුවද්දී දැවී ගියේය.
අනෙක් පිතිකරුවන් පොඩි උන් ගහන්නා වාගේ තනි උඩ ගසා උඩපන්දු දී දැවී යන අයුරු දුටුවෙමු. කුසල් මෙන්ඩිස් දැවී යන්නේ මුළු ලකුනු සංඛ්‍යාව 26 දී ය. ඒ තනි උඩ ගසාය. කමිල් මිෂාරත් එහෙමය. කණ්ඩායමේ මුළු ලකුණු 62 දී ඔහු දැවී යන්නේත් රොකට් ගැහිල්ලක් ගසාය. 3 වැනි කඩුල්ල ලෙස පැතුම් දුවද්දී දැවී යන විට මුළු ලකුණු සංඛයාව ලකුණු 119කි. ලකුණු 119 දී කුසල් පෙරේරා කඩුල්ල මුවා කර දැවී ගියේය. ඔහු ලබා ගන්නේ ලකුණු 20කි. ඒ ලකුණු 20 තුළ කුසල් පෙරේරා ලබා දුන් උඩපන්දු 2ක් හොංකොං ක්‍රීඩකයෝ අත් හැරියහ.
නායක චරිත් අසලංක හොංකොං පන්දු යවන්නන් හමුවේ ගොබ්බයෙක් විය. ඔහු දැවී යන්නේ මුළු ලකුණු ගණන 122 දී ය. ඔහ ුලබා ගත්තේ ලකුණු 2 කි. ලකුණු 127 දී හයවන කඩුල්ලත් දැවී ගියේය. ඒ කමිඳු මෙන්ඩිස්ය. බලන්න කැත පහරක් ගසා උඩ පන්දුවක් දී දැවී යන විට ජයග්‍රහණයට ලකුණු 23ක් අප පිටුපසිනි.
ඉන් අනතුරුව පිටියට පැමිණි වනිඳු හසරංග සහ දසුන් ශානක පන්දු 7ක් ඉතිරිව තිබිය දී තරගයේ ජයග්‍රහණය සහතික කළහ. අප කඩුළු 4කින් දිනුම්ය.
දිනුම් බව සැබෑය. බලන් ඉන්නා අපට ඇසෙන්නේ ඉදිරියේ දී ඉන්දියාව වැනි කණ්ඩායමකින් අපට කන්නටවන බලු ගුටිවල කෙඳරිය ය. මේ ගැහිල්ල වෙනස් නොකරගතහොත් රටට ක්‍රිකට් එපා වීමට නියමිතය.







