ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට යමින් ඇතැයි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත මාර්තා වෝල්ඩ්මයිකල් පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ඊයේ (13) තේ අපනයන කරුවන්ගේ සංගමයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. ඇය කීවේ ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බවය.
නේවාසික නියෝජිතවරිය මෙසේ පැවසුවාය.
“ශ්‍රී ලංකාව දැන් කොපමණ දුරක් පැමිණ ඇතිදැයි අපි බලන්න ඕන. මීට අවුරුදු 3කට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේ ධරුණුතම අර්බුදයකට මුහුණ දුන්නා. දිගු ඉන්ධන පෝලිම්, මූලික භාණ්ඩවල දැඩි හිඟය, වාර්තාගත උද්ධමනය වගේම දෛනික විදුලි කප්පාදුවකට මුහුණ දුන්නා. ”
“ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි සංචිත වශයෙන් තිබුණෙ ඩොලර් මිලියන කීපයක් පමණයි. ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමටත් බලධාරීන්ට සිදුවුනා. ශ්‍රී ලංකාව කෙරෙහි දේශීය මෙන්ම ජාත්‍යාන්තර විශ්වාසයත් නැති වෙලා තිබුණේ. බොහෝ පවුල් දෛනික ජීවිතයේ දී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. ”
“අද වනවිට තත්ත්වය බෙහෙවින්ම වෙනස්. ශ්‍රී ලංකාව අද වනවිට නැවත වර්ධනයට පත් වෙලා. 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් ප්‍රසාරණය වෙලා. උද්ධමනය තනි ඉල්ලකමට ඇවිත්. ආදායම් සැලකිය යුතු ලෙස වැඩිවෙන්න පටන් අරන්. ඒ වගේම ජාත්‍යාන්තර සංචිත වර්ධනය වෙලා තියෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය හොඳින් සිදුවෙනවා වගේම ආයෝජකයින්ට රට පිළිබඳව විශ්වාසය ගොඩනැගෙමින් පවතිනවා.”
“එවගේම ශ්‍රී ලංකාව දූෂණ විරෝධී නායකත්වය ඉදිරියට ගෙනියන අතර පාලනය ද ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ කැපි පෙනෙන ප්‍රගතිය අහම්බෙන් සිදුවූවක් නොවේ. බලධාරින්ගේ තීරණාත්මක ක්‍රියාමාර්ග සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැනි බාහිර ආයතනවලට සහාය ඇතිව සිදුවූවක්.”
“ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාවේ ප්‍රතිඵලයක්.”
මාර්තා කීවාය.







