“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට අද පස්වරුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත විය. අද පෙ.ව 11.30 සිට එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය ආරම්භ කළ අතර අනතුරුව ප.ව 3.30ට පමණ පැවති දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූයේය. විපක්ෂව ඡන්ද 1ක් හිමිවිය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2025 අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
මේ අනුව ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව; ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්, සහ ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප අහෝසි වීම සිදුවේ.







