කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් නිෂ්පාදනය සඳහා මෙරටට ගෙන්වන ලදැයි සඳහන් කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අද (7) අවසර ලබා දී තිබේ.
ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අතර, එහිදී දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට මෙලෙස අවසර ලබා දී ඇත.
පියල් මනම්පේරිගේ සොහොයුරා සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි නම් තැනැත්තෙකි. මේ තැනැත්තා මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදු ජන පෙරමුණෙන් තරග කළ අපේක්ෂකයෙකි. මේ වනවිට ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ඔහු සැඟවී ගොස්ය.
මෙම රසායන ද්‍රව්‍ය තොගය පිළිබඳව පොලීසියට තොරතුරු ලබා දී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සමග අත් අඩංගුවට ගත් බැකෝ සමන් නැමැත්තා බවද වාර්තා වේ.
මේ වන විට අත් අඩංගුවට ගැනීමට සොයන සම්පත් විරාජ් මනම්පේරි 2006 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ ඇල්විටිගල මාවතේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදී ඝාතනය කෙරුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකි.
සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි ඒ වන විට ජනපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ සේවය කරමින් සිටියේය. ඔහු ජනපති ආරක්ෂක අංශයට සම්බන්ධ වීමට පෙර කරුණා අම්මාන් ගේ ආරක්ෂක අංශයට සම්බන්ධ වී සිට ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රවිරාජ් ඝාතනයට පෙර ඔහු ගුවන් හමුදා නිළධාරියකු වූ නිශාන්ත ගජනායක නැමැත්තා සමග කොළඹ සිටි ද්‍රවිඩ ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ වරදට චෝදනා ලබා සිටියේය. මේ ව්‍යාපාරිකයා කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා නම් විය. ඒ වන වන විට සීනි පොල්තෙල් පරිප්පු ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිමේ ඒකාධිකාරය මෙම ව්‍යාපාරිකයා විසින් අත් කර ගෙන සිටියේය. ඔහු ඝාතනය කිරීමෙන් පසු කෝටි 3000ක් පමණ වූ ඔහුගේ දේපල කොල්ල කෑ බවට අනාවරණය වේ.
කෙසේ වෙතත් ඔහු ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ ව්‍යාපාරික ජාලය සතුව පැවති වෙළඳ ඒකාධිකාරය අත් කර ගත්තේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු බව පැවසෙන පිරමීඩ් විල්මා ආයතනයේ සජාන් මවුසාත්ය.
ඒ සජාන් මවුසාත් ගේ පෙර පිණ නිසා සිදුවූවක්ද අහඹුවක්ද එසේත් නැතිනම් තුරුම්පු වාසියක්ද යන්න කියවන අයගේ වැටහීම අනුව සිතාගැනීමට බාධාවක් නැත.
සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරිට ඒ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ නඩු තිබූ බවද වාර්තා වේ. එහෙත් ඔහු හට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ රාජකාරි කිරීමට ඒ අපරාධ නඩු බාධාවක් නොවීමද ප්රශ්නකාරීය. ජාතික බුද්ධි සේවාවේ පසුබිම් වාර්තාවලට අනුව එවැනි අපරාධකාරී ක්‍රියා කළාපයක් ඇති තැනැත්තෙකුට ජනපති ආරක්ෂක අංශයේ රාජකාරි කිරීමට අවස්ථාවක් හිමි නොවෙි.
එහෙත් මෙහිදී සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි හට රාජපක්ෂලා සමග සමීප සබඳතා පැවැති බව සිතා ගත හැකිය. එය වඩාත් තහවුරු වන්නේ ඔහුට පොලිස් සේවාවෙන් ඉවත්වීමෙන් පසුව පොදු ජන පෙරමුණේ දේශපාලනයේ නිරත වීමටද අවස්ථාව උදා වී ඇති නිසාය.
කෙසේ වෙතත් පොලීසිය මේ සැකකරුගේ පැටිකිරිය දැනුවත්ව සිටිනවා වන්නට පුළුවන. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී ශානි අබේසේකර නිසාය.ෙ
මේ වන විට සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලද බව නිවේදනය කර තිබේ. එහෙත් ඔහු ගේ අපරාධකාරී පසුබිම පිළිබඳව මේ සිද්ධිය වන තුරු පොදුජන පෙරමුණේ නායකයන් නොදැන සිටීම නම් විමතියට කරුණකි. (lokuliyanaloku ෆේස් බුක් පිටුවෙනි)








