සූරියවැව නුවන් ජයසේකර
ව්‍යාපාරිකයෙකු විසින් කතරගම වන්දනාවේ ආ පිරිස් වෙත කතරගම දේවාලය අසලදි බෙදා දුන් ආහාර පාර්සල් අනුභව කළ පිරිසක් ආහාර විෂ විම හේතුවෙන් ඊයේ(09) පෙරවරුවේ රෝහල් ගත කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙලෙස ආහාර පාර්ලසල් බෙදා දීම සිදුකර ඇත්තේ කුළියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසිනි. අදාල ව්‍යාපාරිකයා විසින් කතරගම දේවාලය පිටුපස ඇති මාර්ගය අසලදී මෙම ආහාර පාර්සල් බෙදා දීම සිදුකර තිබේ.
එම ව්‍යාපාරිකයා විසින් කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් සඳහා මෙලෙස ආහාර පාර්සල් 2000ක් පමණ මෙම ස්ථානයේදී බෙදාදිම සිදුකර තිබේ. මෙම ව්‍යාපාරිකයා විසින් මුදල් ගෙවා කෑම ලබාගෙන ඇත්තේද කතරගම ගලහිටිය,වෙහෙරකෙම ප්‍රදේශයේ පදිංචි ආහාර සැපයිම සිදුකරන පුද්ගලයෙකුගෙනි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවයි. ආහාර පාර්සල් සහිත ලොරි රථය දේවාල පරිශ්‍රයට ඇතුළු කිරිම සඳහා වාහන බළපත්‍රයද දේවාලයෙන් ලබාගෙන ඇත්තේ අදාල ආහාර සකස් කල පුද්ගලයා විසින්ම බවද මේ වන විට අනාවරණය වි ඇත.
බෙදා දුන් කෑම ආහාරයට ගත් පුද්ගලයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් හදිසියේ ඇති වු අජීර්ණ හා වමනය හේතුවෙන් ප්‍රථිකාර සදහා රෝහල් ගත කර තිබේ.ඒ අතරින් 20 දෙනෙකු කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
තවත් පුද්ගලයන් 07 දෙනෙකු දෙබරවැව මුලික රෝහල වෙත ගොස් බාහිර ප්‍රථිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් පිරිසක් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කතරගම පොලිසිය හා කතරගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබේ.







