-
රනිල්ගේ නඩු දිනයේ දී කොළඹට මිනිස්සු ගෙන්වා ෂෝ දාන්න මාධ්‍ය සාකච්ඡා තැබූ සෙට් එකට වැඩ වරදි…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි ඇති පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ අධිකරණයට පිවිසෙන මාර්ග අවහිරවන පරිදි ජනතාව රැස්කළ පුද්ගලයින් සහ සංවිධානය කළ අය කවුරුන්ද යන්න විමර්ශනය කර ඔවුන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාත්‍රියේ දී අධිකරණයේ සිදුවු ඇතැම් සිද්ධීන් සමාජ මාධ්‍ය තුළ පල කළ පුද්ගලයින් ද සොයා වහාම ඔවුන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයත් ඇය නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව විභාගවන නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගවන අවස්ථාවේ දි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවසෙන මහා මාර්ග අවහිරවන අන්දමින් සංවිධානාත්මක ලෙස විවිධ පුද්ගලයින් සහ සංවිධාන කටයුතු කර ඇති බවට අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණයට දන්වා තිබිණි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණය තුළ ඇතැම් සිදුවීම් සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති බවත්, එම පුද්ගලයින් සම්බන්ධව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.
මේ අතර සැකකාර රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේ එම තීරණය මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දී අධිකරණයේ රැඳී සිටි කිසියම් පුද්ගලයෙක් විසින් එය වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු අනාවරණය කළේය.
සැකකරු අධිකරණ ශාලාවේ බංකුවේ සිටිය දී ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කර ඇතැයි ද අධිකරණය හමුවේ අනාවරණය කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ අධිකරණයට පැමිණ සිටි නීතිඥවරු එකිනෙකාට ගරු නොකරන තත්ත්වයට පත්ව ඇති බවය.







