සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
මේ සම්බන්ධයෙන් අද දින පෙනී සිට ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දී තිබුණි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ රජයේ මුදල් භාවිතා කර ලන්ඩනයේ සිදුකළ පුද්ගලික සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහාය. මෙම ගමන යොදාගෙන තිබුනේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වෙනුවෙනි.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග 10 දෙනෙකු එම සංචාරයට සහභාගිවී ඇති බවත් විමර්ශන අංශ ප්‍රකාශ කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.







