මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවෙක් සහ රියදුරන් දෙදෙනකු අද (21) සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
අරලගංවිල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙලෙස මස් කිලෝ 15 සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් මහවැලි ජිප් රථය අත් අඩංගුවට ගෙන තිබිණි. ජිප් රථයේ තියුණු ආයුධයක් ද පිහියද තිබී අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා සහ රියදුරන් දෙදෙනා අලවාකුඹුර ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන සේවකයින් බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම ජීප් රථයෙන් දිගු කලක සිට මුවමස් ජාවාරම සිදු කරගෙන ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවක් අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල අප කළ විමසීමකදී පැවසීය.








