රජය සහ රටේ ආරක්ෂක හමුදාවන් අඩපණ කිරීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම්වලට හසු නොවී සිටින ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (17) උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඇමතිවරයා උතුරු නැගෙනහිර ජනතාවගෙන් මෙම ඉල්ලීම කරන්නේ මුලතිව් ශිවනගර් හි පිහිටි සිංහ රෙජිමේන්තුවේ 12 වන බලඇණියට අයත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බව කියන මුලතිව් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම ඉල්ලා විරෝධතාවයක් ලෙස සහ හෙට (18) උතුරු නැගෙනහිර ප්‍රදේශවල ‘හර්තාල්’ ව්‍යාපරයක් පැවැත්වීමට ද්‍රවිඩ මුස්ලිම් දේශපාලන පක්ෂ සැලසුම් කර ඇති වටපිටාවකය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්, දැනටමත් හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී ඇති බවත්ය.
“මෙම සිද්ධියේ කරුණු විකෘති කරමින් සහ අසත්‍ය තොරතුරු පතුරුවමින්” ඇතැම් දේශපාලන කණ්ඩායම් උතුරු නැගෙනහිර ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාව කරුණු තේරුම් ගෙන සාමකාමීව ක්‍රියා කළ යුතු බව රජය විශ්වාස කරනවා.” ඇමතිවරයා කීවේය.
මේ අතර සඳුදා (18) ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘හර්තාල්’ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දක්වන බව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) පවසා තිබේ.
ඊයේ නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර්, උතුරු නැගෙනහිර පුරා සිටින මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ අවම වශයෙන් සඳුදා (18) උදෑසන ඔවුන්ගේ වෙළඳසැල් සහ ව්‍යාපාර වසා දමා මෙම සාමූහික ස්ථාවරයට එක්වන ලෙසය.







