රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ගොනු කළ පෙත්සමේ වගඋත්තර කරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සමෙන් කියා සිටින්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමි වී තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවය.
යෝජිත පනත් කෙටුම් පතේ 1 සිට 4 දක්වා වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝණය වීමක් සිද්ධවන බව පෙත්සම් කරු සිය පෙත්සමින් පෙන්වා දී තිබේ.
එමෙන්ම පනත් කෙටුම්පතේ අන්තර්ගත කර ඇති වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරිමක් සිදුවන බව ද එහි සඳහන්ව ඇත.
යෝජිත පනත් කෙටුම්පතේ වගන්ති ක්‍රියාත්මක කිරීමෙන් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරයන් උල්ලංඝණය වීමක් සිදුවන බව එහි වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
පෙත්සම් කරු ඉල්ලා සිටින්නේ අදාල පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් ද එය අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.







